කොරෝනා වෛරසය ශරිරගත වූ බවට සැකකර පසුගිය දිනවල රෝහල්ගත කෙරුණු 16 දෙනාට
වෛරසය ශරීරගත වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය
හේමන්ත හේරත් මහතා කළ විමසීමකදී සඳහන් කළේය. මීට අමතරව දියතලාව කඳවුරේ රඳවා සිටින චීනයේ වුහාන්වල සිට පැමිණි සිසුන් ඇතුළු කණ්ඩායමට හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවද ඔහු පවසා සිටියේය. ගුවන්තොටුපොළට අමතරව වරායන් හරහා කොරෝනා වෛරසය ශරිරගත වූවත් රට තුළට
පැමිණීම වැළැක්වීමට විශේෂ නිරෝධායන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පවසා සිටියේය.

මේ වැඩපිළිවෙළ යටතේ නැව්වලින් පැමිණෙන පිරිස් පිළිබඳ නැවේ සිටින වෛද්‍යවරයා විසින් සෞඛ්‍ය තත්ව වාර්තාවක් නැවේ කපිතාන්වරයාට භාරදිය යුතු බවත්, එම වාර්තාව කපිතාන්වරයා විසින් වරායේ සිටින වෛද්‍යවරයාට භාරදිය යුතු බවත් හෙතෙම පවසා සිටියේය. භාණ්ඩ හා මගී ප්‍රවාහන යන කාණ්ඩ දෙක යටතේ ක්‍රියාත්මක වන සෑම නැවක්ම වරායට සේන්දු වීමට පැය 24කට පෙර අදාළ වාර්තාව ලබාදිය යුතු බවත්, එම වාර්තාව ලැබුණු පසු වරායේ සිටින වෛද්‍යවරයා මුලින්ම නැවට ඇතුළු වී අදාළ පරික්ෂා කිරීම් සිදුකරන බවත් වෛද්‍ය හේමත ත්රත් මහතා කියා සිටියේය.

එම පරීක්ෂා කිරීම්වලින් පසු ආගමන විගමන නිලධාරීන් නැවට ඇතුළු වී අදාළ කටයුතු කිරීමෙන් පසු මගීන්ට හා නැවේ කාර්යමණ්ඩලවලට වරායට ඇතුළු වීමට අවස්ථාව හිමිවන බවද ඔහු කීය. භාණ්ඩ හා පාර්සල් මගින් කොරෝනා පැතිර යන බවට පැතිරෙන යම් යම් ප්‍රචාර පිළිබඳ  කළ විමසීමකදී වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ භාණ්ඩ හෝ පාර්සල් මගින් කොරෝනා පැතිර යෑමක් සිදු නොවන බවයි.

-එම්. අයි. තුෂාර-