රන්ජන් රාමනායක මහතාගේ හඬපට අග්‍රවීනිශ්චයකාරවරයාට ඉදිරිපත් කර ඉන් හෙළිවන විනිශ්චයකාරවරුන්ට එරෙහි අවශ්‍ය පියවර ගනිමින් අධිකරණය පිළිබඳ ජනතාවට ඇති වී තිබෙන සැකය නැති කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන හා කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවති
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් වාර්තාව සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.  එහිදී අමාත්‍යවරයා සිදුකරන ලද කතාව පහතින් වේ.

"මේ අවස්ථාවල රඟදැක්වෙනවා අලුත් චිත්‍රපටයක්. ඒ බයිස්කෝප් එකේ ප්‍රධාන නළුවා රන්ජන් රාමනායක. චිත්‍රපටයේ නම හඬපට එළියට සළුපට අහසට . ඒ හඩපට එකින් එක එකින් එක එළියට එනවා. චිත්‍රපටයේ ජවනිකා එනවා. ඒතකොට සළුපට අහසට යන්න පටන් ගන්නවා. පද්මිණී රණවක හිටපු විනිශ්චකාරතුමියත් හඩපට අහනවා. ඒතුමියට කතා කරලා කොහොමද නඩුවලට බලපෑම් කරලා තියෙන්නේ. එකෙන් වුණත් නීතියේ කන්‍යාවීයගේ තනපට පවා ගැලවුණා. යහපාලනය කියලා ඇවිල්ලා මේ රටේ නීතිය අවභාවිත කළේ කොහොමද කියලා අද එකින් එක එළිදැක්වෙනවා. ඔය  එළිවෙච්ච ටිකයි. 127,000ක් තියෙනවා හඬපට.තාම ආවේ තුනහතරයි.

දෑනට ඇවිත් තියෙනවා පද්මිණී රණවක, ශානි අබේස්කර, ගිහාන් පිලපිටිය, පියුමි හංසමාලි, මම දන්නේ නෑ බලන්න ඒ අයගේ හැදියාව. අවුරුදු 19ක ගෑනු ළමයෙක් ගැන කළුද? සුදුද? වැඩ හොඳද? සමහර ඒවා මෙතන කියන්න බෑ. බලන්න එයාගේ තියෙන හැදියාව, බුදු අම්මේ එහෙම හැදියාවක්. මේක තමයි දිට්ඨධම්මවේදනීය කර්මය කියලා කියන්නේ. බලය ගත්තු ගමන් අරලියගහ මන්දිරයේ මල් පෝචිච් ටික ගලවලා වෛරය පිට කළේ. පටන් ගත්තේ හාමුදුරුවෝ හිරේ දාලා. යුද හමුදා බුද්ධි අංශ කොහොමද හිරේ දැම්මේ කියලා ශානි අබේසේකරගේ හඩපට තුළින් එළියට දැන් එනවා. නාමල්ව, ජොනීව හිරේ දාන්න. ගම්මන්පිලට සැප දෙන්න එපා මෙන්න යහපාලනේ. හැබැයි හිටපු ගමන් ඇත්ත කියන හඩපටත් එළියට එනවා. ඒක තැනක අප ගරු රන්ජන් රාමනායක මහතා කියනවා මෙහෙම එකක්, සජිත්ට ලොකු කැපිසිටියක් නෑ. ඔළුවේ
මොකුත් නෑ. අනික කිලී මහරාජා හදන  එකනෙ කියන්නේ. මම සජිත් එක්ක ළඟින් වැඩ කරලා තියනවා. ඒදඩුවල ගිහිල්ලා පබිලිසිටි ගන්න බොරු ෂෝ දමනවා. හොඳට තේරනවා එයාව පාලනය කරන්නේ කිලි මහරාජයි, මෛත්‍රී ගුණරත්නයි කියලා. තනි තීරණ ගන්න බෑ එයාට. බලන්න රන්ජන්ගේ තියන හැදියාව.

හොඳ ඩයිනමෝවක් තිබුණාට කැපැසිටියක් නෑ කියලානේ කියන්නේ, ඒ නිසා තමුන්නාන්සේලා
ගෙනගිය මජර පාලනය වෙනම මර්දන කල්ලි හදාගෙන ඒවාට ඕනෑ විදියට අධිකරණ නටවනවා. අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලනවා අග්‍රවිනිශ්චකාරතුමාට ඒ හඩපට ඉදිරිපත් කරන්න කියලා. කරලා ඒ හඩපටවලින් තොරතුරු හෙළිවෙන විනිශ්චයකාරවරුන්ට එරෙහිව අවශ්‍ය පියවර අරගෙන මේ රටේ අධිකරණය පිළිබඳ මහජනයාගේ ඇති වී තිබෙන සැකය නැති කරන්න කියලා. අධිකරණය කෙරෙහි විශ්වාසය වර්ධනය කරන්න. අධිකරණයත් එක්ක පන්දු ගහලා. අධිකරණය ඕනෑ විදියට නටවලා, විනිශ්චයකරුවන්ට ඕන ඕන විදියට සැලසුම් කරලා.

අනේ අර පද්මිණී රණවක මැතිනිය උසස්වීමක් ගන්න හරියට ආයතනයක ගෑනු ළමයෙක් ඇවිල්ලා. 'අනේ සභාපතිතුමා කොහොමහරි මට රුපියල් 1,000ක් වැඩිකරලා දෙන්න " කියනවා වගේ, බබෙක් වගේ කියන්නේ. මේ රටේ අධිකරණය ගැන මහජනතාවට ඇති විශ්වාසයට මොකද වෙන්නේ. විනිශ්චයකරුවකු මරණ දඩුවම දෙන්නේ උසස්වීම් බලාගෙන නම්, රන්ජන් රාමනායක ඒකට මගපෙන්වන්නෙක්. ඒ අතරේ රන්ජන් රාමනායක කියනවා ඒ මැඩම් මීට කලින් මට ලොකු උදව්වක් කරලා තියෙනවා කියලා. මොකද උදව්ව?

ගංගොඩවිල උසාවියේ රන්ජන් රාමනායකට විරුද්ධව තිබුණ එක්තරා තරුණියක් ඇයට බලහත්කාරකම් කළා කියලා දැම්මා නඩුවක්. ඒ නඩුව විභාග කරන කොට උසාවියේ විනිශ්චයකාරතුමිය කවුද? පද්මිණි රණවක. තමුන්නාන්සේලාගේ අවුරුදු 4 1/2ක් අධිකරණ පද්ධතිය කෙරෙහි මේ රටේ ජනයාගේ තියන විශ්වාසය නැත්තටම නැති කරලා ඉවරයි. දැන් උසාවියට ගිහින් හඩපට මාධ්‍යයට දානවාට වාරණයක් ඉල්ලගෙන. මං දන්නේ නෑ ඒ වාරණ නියෝගය දුන්නොත් නැවතත් මේ රටේ ජනතාව හිතනවා අරවගේම තීන්දුවක් කියලා.  වාරණ නියෝග දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. මහත්තයා දැනගන්න ඕනේ ගෙවුණ අවුරුදු 4 1/2 වෙච්චව දේ. මේ අපේ හඬපට නොවෙයි. එතුමාගේ හඩපට.

තැටිගත කොට තිබෙන හඬපට. මේගොල්ලෝ අහනවා හඩපට කොහොමද මාධ්‍යයට ගියේ කියලා. රන්ජන් මහත්තයා වම් අතේ ඇඟිලි සලකුණ කියලා එතුමා ඉදිරියේම මේ හඩපට සීල් කරලා තියන්නේ. අධිකරණයට භාරදීලා ඒවා උසාවියෙන් තමයි ඉල්ලා ගත්තේ. පොලිසිය භාරය තියෙන කිසිම හඩපටයක් එළියට ගිහිල්ලා නෑ. රන්ජන්ගේ ගෙදර තියලා ලැම් හඩපට පොලිසියට ගන්න කලින් වෙනම පුද්ගලයෙක් අතට මේවා ගිහිල්ලා තියනවා. ඒවා කොහොමද වුණේ කියලා රන්ජන් රාමනායක හොයන්න ඕන. වෙනත් පුද්ගලයන්ට ගිය නිසා තමයි පොලීසිය දැනගත්තේ මෙහෙම හඩපට තියෙනවා කියලා."

-නිදර්ශනී වික්‍රමසිංහ-