වයික්කාල මුහුදේ පෙරේදා සවස ඥාතීන් පිරිසක් සමග දිය නාමින් සිටි ඥාති තරුණයන් දෙදෙනකු සහ තරුණියක දිය රැළකට හසුවී ගසාගෙන ගොස් දෙදෙනකු ඒ මොහොතේම බේරාගෙන රෝහල් ගත කිරිමේදී
මිය ගොස් ඇති අතර තවත් තරුණයකුගේ සිරුර ඊයේ 12දා උදෑසන කම්මල මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගත් බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය කියයි.

දියේ ගිලීමෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ සඳලංකාවේ ගෝනපිල පදිංචි වර්ණකුලසූරිය රවීෂා සෙව්මිනි (17), සිංගක්කුලිය සඳලංකාවේ පදිංචි වණකුලසූරිය නදිර තිසේරා (17) හා වර්ණකුලසූරිය හේෂාන් චාමර (21) යන තිදෙනයා. ඥාතිපවුල් දෙකකට අයත් මොවුන් තිදෙනා තම පවුල්වල උදවිය සමග වයික්කල මුහුදේ දිය නෑමට පෙරේදා දහවල් පැමිණි මුහුදු රළ පාගමින් විනෝද වෙමින් සිටියදී 17 හැවිරිදි

නැගණිය එකවරම මුහුදු රළට හසුවී ගසාගෙන යද්දී ඇගේ ඥාති සහෝදරයන් දෙදෙනකු ඇය බේරා ගැනීමට මුහුදට පැන ඇති බවත් තිදෙනාම මුහුදේ ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

පසුව වහාම ක්‍රියාත්මකවූ ප්‍රදේශවාසීන් පිරිසක් දියේ අතුරුදන්වූ තිදෙනා බේරා ගැනීමට උත්සහ කිරීමේ දී 17 හැවිරිදි තරුණයා හා තරුණිය ගොඩට ගෙන දංකොටුවේ ප්‍රාදේශීය රෝහලට ගෙන යන අතරතුරේ දී දෙදෙනාම මිය ගොස් ඇති බව පොලිසිය කියයි. මුහුදේ අතුරුදහන්වූ 21 හැවිරිදි තරුණයාගේ සිරුර සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට නොහැකිවී ඇති අතර පසුව ඔහුගේ සිරුර ඊයේ (12) උදෑසන කම්මල මුහුදු වෙරළට ගොඩගසා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

දියේ ගිලීමෙන් මිය ගොස් ඇති සඳලංකාවේ ගෝනවිල පදිංචි වර්ණකුලසූරිය රවීෂා සෙව්මිණි වෑකඩ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි අතර වර්ණකුලසූරිය, නදිර තිසේරා සදලංකාවේ මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටින සිසුන් දෙදෙනකි. සිද්ධියෙන් මිය ගිය දෙදෙනාගේ සිරුර දංකොටුවේ ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තැත්පත් කර ඇති අතර පශ්චාත් හා හදිසි මරණිය පරික්ෂණ එම රෝහලේදී ඊයේ (12) සිදුකිරීමට නියමිතව තිබුණි.  වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ පොලිස් සැරයන් පෙරේරා (57475) මහතා හමුවේ සිද්ධිය සම්න්ධයෙන් ප්‍රකාශයක් ලබාදුන් වර්ණකුලසුරීය ප්‍රේමරත්න තිසේරා මහතා මෙසේ පවසා ඇත.

අපේ පවුල් දෙකේ කට්ටිය 11 වැනිදා හවස 3.00ට පතර වයික්කාල පල්ලිය ළඟ මුහුදු වෙරළට ඇවිත් විනෝද වෙමින් සිටියා. ඒ මොහොතේ මගේ නංගිගේ දියණිය කවිෂා සෙමිනි මුහුදු රළ පාගමින් සිටියා. එක පාරටම ලොකු රළ පහරක් ආවා. ඒ රළ පහරට දියණිය ගසාගෙන යන්න පටන්ගත්තා. මගේ පුතා හේෂාන් සහ මගේ මල්ලිගේ පුතා බිම්සර ඇය බේරාගැනීමට මුහුදට පැන්නා. තුන්දෙනාම මුහුදේ ගසාගෙන ගියා.