හිසට වෙඩි තබා 20 හැවිරිදි තරුණයකු ඝාතනය කිරිමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පෙරපාසල් ගුරුවරියක පොලිස් නිල සුනඛයකු දුන් ඉවක් ඔස්සේ පරික්ෂණ පවත්වා සැකපිට අත්අඩංගුවට ගත් බව තණමල්විල මූලස්ථාන පොලිසිය පවසයි. එක් දරු මවක වන සැකකාරිය සැමියාගෙන් වෙන්වී වෙසෙන බවද
පොලිසිය සඳහන් කරයි. මෙසේ ඝාතනය කර තිබුණේ තණමල්විල පොලිස් වසමට අයත් සුරියආර, කුමාරගම පදිංචිව සිටි පරණගමගේ චමින්ද විජේරත්න (29) නමැති අවිචාහක තරුණයෙකි.

හිසට වෙඩි තබා ඝාතනය කර තිබූ මෙම තරුණයාගේ සිරුර තණමල්විල සමාධිගම ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ඉකුත් 10 වැනිදා සොයාගැනිණි. අත්අඩංගුවට ගත් 35 හැවිරිදි පෙර පාසල් ගුරුවරිය ඇය විසින් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බවට පැවසෙන කටුවන ප්‍රදේශයේ පුද්ගලයකුට දුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම තරුණයා ඝතනය කර ඇති බවට හෙළිවූ බව ජ්‍යෙෂ්ඨ
පොලිස් නිලධාරියක් ඊයේ (12) පැවැසීය. සැකකාර පෙර පාසල් ගුරුවරියගෙන් ප්‍රශ්න කිරීමේදී මේ බව හෙළිවිණැයි පොලිසිය පවසයි. හිසට වෙඩි තබා තරුණයා ඝාතනය කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.

ඝාතනයට ලක්වූ තරුණයා මුදල් පොලියට දෙන අයකු බවත් ඔහු මෙම සැකකාර පෙර පාසල් ගුරුවරියට රුපියල් 50,000ක පමණ මුදලක් පොලියට දී ඇති බවත් පොලිසියට දැන ගැනීමට ලැබී ඇති බව කියති.තරුණයා එම ණය මුදල හෝ පොලී මුදල් ඉල්ලාගෙන පෙර පාසල් ගුරුවරියගේ නිවසට නිතර ගියත් ඔහුට මුදල් ලැබී නොමැති බවට තොරතුරු ලැබී තිබෙන බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයා කීය. ණය මුදල් හෝ පොලී මුදල් නොදෙන්නේ නම් ඒ වෙනුවට තමා සමග විවාහ වන ලෙසට තරුණයා යෝජනාවක් කර ඇතත් පෙර පාසල් ගුරුවරිය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයිද
පොලිසියට දැනගැනීමට ලැබී ඇති බව පැවසේ.

තරුණයා ණය මුදල හෝ පොලී මුදල ඉල්ලා ගැනීමට පෙර පාසල් ගුරුවරිය පදිංචිව සිටින සමාධිගමට ගිය අවස්ථාවේ ඔහු ඝාතනයට ලක්වී ඇතැයි ද කියති. තරුණයා ගැන කිසිදු හෝඩුවාවක් ලැබී නොතිබුණ නිසා පොලිසිය මොනරාගල මුලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් නිල සුනඛ 'ඩෙනී' අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගොස් ඉව කිරීමට සලස්වා ඇති අතර ඩෙනී මළ සිරුර වැටී තිබුණ ස්ථානයේ සිට මීටර් 60ක් පමණ දුරින් පිහිටි නිවසක් තුළට ගොස් නතරවිණැයි පොලිසිය කීය. පොලිස් නිල සුනඛ ඩෙනී දුන් එම හෝඩුවාව අනුව එම නිවසේ සිටි පෙර පාසල් ගුරුවරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඝාතනය පිළිබඳ තොරතුරු හෙළිවූ බව පොලිසිය කියයි.

-ශ්‍රිනාත් ජයසුරිය-