විසා නොමැතිව මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික විදේශීය කාන්තාවක් පරික්ෂා කිරිමට ඊයේ (6) ගිය උපපොලිස් පරික්ෂකවරියකට එම විදේශීය කාන්තාව පහරදී ඇති බව හබරාදුව පොලිසිය පවසයි. හප්පාවන කොකුව කන්ද ප්‍රදේශයේ විලා එකක් තුළදී මෙම සිද්ධිය වි ඇත. විසා නොමැතිව බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්
ඇයගේ සැමියා

සමග මෙම විලා එක තුළ සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව  මේ පිළිබද පරික්ෂා කිරීම සඳහා හබරාදුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනය ඇතුළු නිලධාරින් පිරිසක් එම ස්ථානය වෙත ගොස් ඇත. එහිදී විදේශිය කාන්තාවගෙන් වීසා බලපත්‍රය ඉල්ලා ඇති අතර එහිදී බහින්බස් වීමක් ඇතිවී තිබේ. විදේශීය කාන්තාව විරෝධය පළකොට ඇත.

එවිට උපපොලිස් පරික්ෂකවරිය විදේශිය කාන්තාවට පොලිසියට එන ලෙස පවසා ඇති අතර ඒ සමහ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව මෙකී කාන්තා උපපොලිස් පරික්ෂකවරියට පහරදී ඇති බැව් පොලිසිය පවසයි. මෙකී බ්‍රිතාන්‍ය ජාතික යුවළ දැනට වසර දහයක පමණ සිට මෙරටට පැමිණෙන බව පොලිසිය පවසයි. වීසා බලපත්‍රයේ කාලය ඉකුත් වසරේ දෙසැම්බර් මස 06 වැනි දින වනවිට ඉකුත්වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.  විදේශීය කාන්තාවගේ සහ ඇයගේ සැමියාගේ විසා බලපත්‍රයේ කාලය ඉකුත් වී ඇතැයි පොලිසිය පවසයි. වීසා නොමැතිව රැඳී සිටීම, රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් එම යුවළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශීය කාන්තාව හා විදේශිකයා මෙන්ම කාන්තා උපපොලිස් පරික්ෂකවරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඊයේ (06) ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. හබරාදුව පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව පරික්ෂණ පවත්වයි.

-ජේ.කේ.එල්.චාමින්ද-