ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (07දා) රාත්‍රී තරගයක් ලෙසින් ඉන්දෝර් හිදී පැවැත්වීමට නියමිතය. පසුගියදා (05)
පැවැත්වීමට නියමිතව තිබූ තරගය යහපත් කාලගුණය හිසා අතඇර දමන්නට සිදුවිණි. තරගය සම්බන්ධමයන් ඇදහස් දැක්වූ ඉන්දීය ක්‍රිකට් විචාරකයින් සදහන් කර සිටියේ තරගය නොපැවැත්වීම ඉන්දියාවට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමට පාඩුවක් බවයි.

මන්ද පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ වටයට ක්‍රීඩා කිරිමට සිදුව ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ තරගකාරීත්වයට හුරුවීමට ඉන්දීය තරගාවලිය ඉතා වැදගත් තරගාවලියක් බව ඔවුහු සඳහන් කර සිටියහ. මෙම අවස්ථාව වන විට ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කරමින්
සිටින දක්ෂතා ගැන අවධානය යොමු කරමින් ඔවුන් එසේ සඳහන් කර සිටීමද වරදක් නැත. එහෙත් සුපුරුදු පරිදි ඉන්දීය ක්‍රිකට් විචාරකයින් ශ්‍රී ලංකා කණ්ඩායම අඩු තක්සේරුවක තබා සාකච්ඡා කරන බව පැහැදිලිය. පළමු තරගයට නම් කළ අවසන් 11 දෙනා අතරට ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම කුසල් මෙන්ඩිස්ද ඇතුළත්ව සිටියේ නැත. ඉන් පැහැදිලි වන්නේ පාකිස්තාන සංචාරයේදී දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයින් ගැන නායක ලසිත් මාලිංග විශ්වාසයෙන් පසුවන බවයි.

විශේෂයෙන් තරගයක් ජයග්‍රහණය කරවිය හැකි භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු මෙන්ම පාදඟ පන්දු යවන වනිදු හසරංග ගැන විශ්වාසයෙන් කටයුතු කිරීම එම ක්‍රීඩකයින්ට හිමිවන දිරිගැන්වීමකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතය ඔවුන් බැවින් එම ක්‍රීඩකයින්ද තේරීම් කමිටුවේ මෙන්ම නායක ලසිත්ද විශ්වාසය තව තවත් දිනා ගැනීමට හැකි උපරිමයෙන් උත්සාහ කළ යුතුය. පළමු තරගයට නම් කළ 11 දෙනා අද පැවැත්වෙන දෙවැනි තරගයටද ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. වෙනසක් වෙන්නේ නම් ඒ ඇන්ජලෝ මැතිව්ගේ පැමිණීම පමණක් විය හැකිය.

මැතිව්ස් මෙම තරගාවලියට පෙර පන්දු යැවීමද ආරම්භ කළ බවට තොරතුරු වාර්තා වූ බැවින් අද තරගයට ඔහු ක්‍රීඩා කරන්නේ නම් නියත වශයෙන්ම පන්දු යවන්නට සිදුවේ.එසේ වුවහොත් පළමු තරගයට නම් කළ ධනංජය සිල්වාට බොහෝදුරට කණ්ඩායමේ ස්ථානය අහිවීමට ඉඩක් පවතී. එහෙත් අප විශ්වාස කරන්නේ පළමු තරගයට නම් කළ කණ්ඩායමම දෙවැනි තරගයටද නම් කරනු ඇති බවයි.
ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලියට පැමිණෙන්නේ රෝහිත් ෂර්මා නොමැතිව වුවද එය ඔවුනට පාඩුවක් වන බවක් නම් පෙනෙන්නට නැත. මන්ද, රෝහිත්ගේ ස්ථානයට ශිකර් ධවාන් පැමිණ සිටින බැවිනි. ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වූ ශිකර් ධවාන්ට නැවත වතාවක් කණ්ඩායමේ සිය ස්ථානය වෙනුවෙන් සටනක් ලබාදෙන්නට සිදුව තිබේ. මන්ද, ඔහු වෙනුවට කණ්ඩායමට පැමිණි කේ.එල්. රාහුල් මේ වන විට ලකුණු අතර සිටින බැවිනි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඉන්දීය තරග සංචාරයේදී ද කේ. එල්. රාහුල් ඔහුට ලැබුණු  අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගනිමින් ලකුණු අතරට ප්‍රවිෂ්ට විණි. එහෙයින් ශිකර් ධවාන්ට නැවත වතාවක් සිය ස්ථානය ලබාගන්නට සටනක් දෙන්නට සිදුව තිබේ. එය ඉන්දීය කණ්ඩායමට හිතකර වුවද ශ්‍රී ලංකා කණ්ඩායමට නම් එතරම් හිතකර තත්ත්වයක් නොවේ. ඔහුට අමතරව ශ්‍රෙයාස් අයියර්, ශිවාමි ඩුබේ සහ රිෂාබ් පන්ට් යනු අවධානයෙන් සිටිය යුතු පිතිකරුවන්ය. එමෙන්ම කලකට පසුව ඉන්දීය කණ්ඩායමට ඇතුළත් වූ ජස්ප්‍රිරි බුම්රා මෙම කුල්දීප් යාදෙව් ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරන පන්දු යවන්නන්ය.  තවද කලකට පසුව කුල්දීප් යාදෙව් ක්‍රම ක්‍රමයෙන් සුපුරුදු රිද්මයට පැමිණෙමින් සිටින බවද පෙනෙන්නට තිබේ. එය ශ්‍රී ලංකා කණ්ඩායම් පීඩනය තව තවත් වැඩි කරවන්නකි. අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07.00ට ආරම්භවීමට නියමිතය.

-දිනේෂ් මන්ත්‍රිවිතාන-