දුරකථන සංවාද පටිගත කරමින් මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කළ ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි වුවත් ඇතැම් විනිසුරුවරුන් සිය උසස්වීම් හා ස්ථාන මාරුවීම් වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් දේශපාලකයන්ගේ සහාය ලබාගැනීමට උත්සාහ කරන අයුරු
පෙනෙන්නට තිබෙන්නේ ඔවුන් මුහුණ දෙන එකී ගැටලු විසඳාලීමට මෙරට තුළ නිසි ක්‍රමවේදයක් නොමැති නිසා බව නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි.

විනිසුරුවරුන් මුහුණ දෙන එකී ගැටලු හා දුක්වේදනාවන් සම්බන්ධයෙන් අධ්‍යනය යොමුකර
ඔවුන්ගේ ගැටලු විසඳාලීමට හැකියාව ඇත්තේ ඒ සම්බන්ධයෙන් පළපුරුද්ද තිබෙන විනිසුරුවරුන්ට පමණක් බවද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ සඳහා මහේස්ත්‍රාත් තනතුරේ සිට අභියාචනාධිකරණ ධූරය දක්වා උසස්වීම් ලද අය කළ යුතුව ඇති බවද එහෙත් අධිකරණ සේවා කොමිෂන් සභාව තුළ සේවය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ සිට පත්කර හරින ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙන පමණක් බවද ඒ මහතා පවසයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත විනිසුරුවරුන් වරින්වර කැඳවා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව අවධානය යොමුකළ හැකි වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු සේම විනිසුරුවන් සම්බන්ධයෙන් පවතින ආචාරධර්ම පද්ධති හා විනය පද්ධති මීට වඩා වැඩි කළ යුතුව ඇති බවද ඒ මහතා පැවසීය.

ඇතැම් විනිසුරුවරුන් පොලිස් නිලධාරීන් විශ්වාස කරගෙන කටයුතු කරන අයුරු පෙනෙන්නට තිබෙන බවද මේ වන විට හෙළි වී තිබෙන කරුණු අනුව ඇතැම් පොලීස් නිලධාරීන් අධිකරණයට අයථා ලෙස කරුණු දක්වා ඇති බවද ඒ අනුව විනිසුරුවරුන් ඔවුන් අධිකරණයේදී දක්වන කරුණු සම්බන්ධයෙන් දෙවරක් සිතා කටයුතු කළ යුතුව ඇති බවද ඒ මහතා පවසයි.

මේ අවස්ථාවේ මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාගේ සංවාද හඩපට තුළ තිබෙන පෞද්ගලික හා ලිංගික හඬපට පිළිබඳව අවධානය යොමු නොකොට අධිකරණ ක්‍ෂේත්‍රයට හා පොලිස් දෙපාර්තමේන්තූවට සිදුව තිබෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇති බවද ඒ මහතා පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත