රුපියල් එක්කෝටි දසලක්ෂයකට ආසන්න මුදලක් වැය කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවත්වාගෙන ගිය අන්තර්ජාලය ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම් කිරීමේ

ක්‍රමවේදය ඇතුළත් පද්ධතිය මේ වන විට අක්‍රීය තත්ත්වයට පත්ව ඇත.

මේ නිසා 2018 -2019 අධ්‍යයන වසරට අදාළව අභියාචනා මගින් තෝරා ගත් සිසුන් 28 දෙනකුගේ අයැදුම්පත් පුරවා ඇත්තේ එම සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවීමෙනි.


මෙම පද්ධතිය සකස් කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාව මොරටුව විශ්වවිද්‍යාලයට රුපියල් අනූතුන්ලක්ෂ හතළිස් හත්දහස් හත්සිය පනහක් ගෙවා ඇති අතර එය ක්‍රියාත්මක වූයේ වසර තුනක් පමණි. දෙවැනි හා තෙවැනි වසරවල දී මෙම පද්ධතියේ නඩත්තු කටයුතු වෙනුවෙන් රුපියල් හත් ලක්ෂය බැගින් රුපියල් දාහතර ලක්ෂයක් ද මොරටුව විශ්වවිද්‍යාලයට ගෙවා ඇත. එතරම් මුදලක් වැය කර තිබිය දී මේ වන විට එම පද්ධතිය ඉවත් කර ඒ වෙනුවට තවත් මුදල් වැය කරමින් වෙනත් ආයතනයක් සමග නව පද්ධතියක් සකස් කරමින් සිටින බව ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග ඊයේ (15 වැනිදා) පැවසීය.

වෙනත් ආයතනයක් සමග සම්බන්ධ වෙමින් මෙම නව පද්ධතිය සකස් කිරීමට පියවර ගෙන ඇත්තේ කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් වීමට පෙර ය. නව කොමිෂන් සභා සාමාජිකයන් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද එම ආරංචි මාර්ග කීවේය.

නිලන්ත මදුරාවල