නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි අතුරුදන් වූ වෛද්‍ය සිසුවාගේ මළ සිරුර වවුනතිව් ප්‍රදේශයේදී පෙරේදා (14වැනිදා) සොයාගෙන තිබේ.

ආගරපතන
පදිංචිකරුවකු වන 21 හැවිරිදි එස්. මෝහන්රාජ් නමැති වෛද්‍ය සිසුවා පසුගිය 09 වැනිදා පිල්ලයාරඩි පිහිටි නේවාසිකාගාරයෙන් කෝවිලට යන බව පවසා පිටව ගිය අතර ආපසු නොපැමිණීම හේතුවෙන් ඒ පිළිබඳව නේවාසිකාගාරයේ සිසුන් මඩකලපුව පොලිසියට පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳ දැනගත් සිසුවාගේ මව්පියන් මොහු සොයා මඩකලපුවට පැමිණි අතර එහිදී රෝගාතුර වූ මව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ අතුරුදන්වූ වෛද්‍ය සිසුවාගේ මළ සිරුර දින පහකට පසු පෙරේදා වවුනතිව් කරයාකන්තිව් කලපුවට ගොඩ ගසා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

වැඩිදුර පරීක්ෂණ මඩකලපුව පොලිසිය මගින් සිදු කරනු ලබයි.

(වාර්තාව - එස්. රාසයියා හා එල්. ජව්ෆර්කාන්)