කොළඹ වරාය පර්යන්තයේ රඳවා තිබෙන එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන සායනික අපද්‍රව්‍ය සහිත කැළි කසළ අඩංගු බහාලුම් (කන්ටේනර්) පරික්ෂා කිරීමට තම දෙපාර්තමේන්තුවට
යටිතල පහසුකම් නොමැති බවට රජයේ රස පරික්ෂකවරයා අධිකරණයට කර ඇති දැනුමදිම පිළිබඳව විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස  අභියාචනාධිකරණය අධිකරණ ඇමතිටත් එම අමාත්‍යාංශයේ  ලේකම්වරයාට සහ නීතිපතිවරයාටත් නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ මීට අදාළ පෙත්සම අභියාචනාධිකරණ සභාපති යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදීය. මෙම කැළි කසළ අඩංගු බහාලුම් දිවයිනේ අභ්‍යන්තර ප්‍රදේශවලට රැගෙන යාම වළක්වාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන 23 වැනිදා දක්වා දිර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ මෙවැනි බහාලුම් 112ක් දැනටමත් කොළඹ වරායේ තිබෙන බවය.  පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ද රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති ද නම් කරනු ලැබ ඇත.ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි. ජීව විද්‍යා උපාධිධරයෙකි. සායනික අපද්‍රවය, ඉවතලන ප්ලාස්ටික්, මෙටට්‍රස් ආදී අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර  ඇත. මෙම විදෙස් කැළි කසළ මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය. මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම, ජනතාවගේ සෞඛ්‍යයට ද හානි සිදු වේ. මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබිජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග ඇතිවීමේ අවදානමක් ඇතිවේ.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙස පෙත්සම්කරු මධ්‍යම  පරිසර අධිකාරියට ලිඛිතව සැලකර සිටියත්, මෙතෙක් ඒ පිළිබඳව  යහපත් ප්‍රතිචාර ලැබී නොමැත.

එබැවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ද ජාතික පරිසර පනතහි විධි විධාන උල්ලංඝනය කරමින් මෙරටට විදේශවල කැළි කසළ ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද මෙවැනි විදෙස් කැළි කසළ ආනයනය කිරිම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙස ද පෙත්සමිකරු ඉල්ලා ඇත.

පෙත්සම්කාර පරිසර සංවිධානය වෙනුවෙන් නීතිඥ නිමල් වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටියේය.


-තිලිණි ද සිල්වා-