විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස ජයවර්ධනපුර විශ්වවිදයාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පත්කරනු ලැබ සිටී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකරනු ලැබ ඇති අතර, සම්පත් අමරතුංග මහතා 2 වනදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලබාගත්තේය.

2014 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස පත්වූ
සම්පත් අමරතුංග මහතා මේ වනවිටත් එම ධුරයේ කටයුතු කරයි.

ඔහු විශ්වවිද්‍යාල පද්ධතියේම සිටින ජ්‍යෙෂ්ඨතම උප කුලපතිවරයා ද වෙයි.

විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ගේ කමිටුවේ හිටපු සභාපතිවරයා වූ ඔහු පොදුරාජ්‍ය මණ්ඩලයීය විශ්වවිද්‍යාලීය උප කුලපතිවරුන්ගේ දකුණු ආසියානු කලාපීය නියෝජිතවරයෙක් ද වෙයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපතිවරයකු ද වන අමරතුංග මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයකු ද වන ඔහු එහි කළමනාකරණ පීඨයේ ආචාර්යවරයකු ලෙසද දිරි කාලයක් කටයුතු කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය මොහාන් සිල්වා මහතාගේ සේවා කාලය අවසන්වීමෙන් එම ධුරය පුරප්පාඩු විය.

අජන්ත කුමාර අගලකඩ