ඇවිදිමට නොහැකි ආබාධිත පුද්ගලයකු බවට ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බිම දිගේ ඇදී යමින් පිටකොටුව හා අවට ප්‍රදේශවල හිගමන් යදිමින් සිටි පුද්ගලයකු මත්කුඩු සමග වේල්ලවිදිය පොලිසිය විසින් ඉකුත් 31 වැනිදා
අත්අඩංගුවට ගනු ලැබීය. වසර කිහිපයක් තිස්සේ මොහු මෙම වංචාව සිදුකර ඇති බවත් සිගමන් යැදීමෙන් ඔහු දිනකට රුපියල් 20,000කට වැඩි මුදලක් සොයා ගන්නා බවත් එම මුදලින් දිනකට රුපියල් 6000ක පමණ මත්කුඩු පානය කරන බවත් පොලිසිය තොරතුරු ශහෙළි කරගෙන ඇත.
මොහු ආබාධිත බව ව්‍යාජව පෙන්වමින් සිගමන් යැද මහ පරිමාණයෙන් මත්කුඩු පානය කරන බවට වේල්ලවීදිය පොලිසියට ලැබුණු තොරතුරක් අනුව බුද්ධි නිලධාරින් යොදා මොහුගේ ක්‍රියා කලාපය නිරීක්ෂණය කර අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුට කිසිදු ආබාධයක් නොමැති බවත් ඔහු ගල් ප්ලස්ටරයක් බැඳගෙන වැල්ලම්පිටියේ සිට බස් රථයෙන් දිනපතා පිටකොටුව පැරැණි ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළ ආසන්නයට ගොස් සිරුරේ පසුපසට ස්පොන්ජර් කැබැලි කිහිපයක් තබා බැඳගෙන මාර්ගයේ රූටා යමින් පිටකොටුව හා අවට ප්‍රදේශයේ සිඟමන් යදින බවද පොලිසිය පවසයි. සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 48  හැවිරිදි පුද්ගලයකු බවද පොලිසිය කියයි.  මොහු මාර්ගය හරහා ගමන් කිරීමේදී ඇතැම් රථවාහන නිලධාරීන් මොහු ඇවිදීමට නොහැකි අබාධිත පුද්ගලයකු යැයි අනුකම්පා කර ඔහු ඔසවාගෙන ගොස් මාර්ගයේ අනෙක් පස තබන බවද පොලිසිය සඳහන් කරයි.

-ඉන්දිකා රාමනායක-