ඇතැම් දන්තාලේපවලටත් රූපලාවණ්‍ය කටයුතුවලදී භාවිත කරන විවිධ ක්‍රීම් හා ආලේපන වර්ගවලටත් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මුසු කරන බව හෙළිවී ඇතැයි වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත් හා පෝෂණ පීඨයේ කථිකාචාර්ය
සහ සීමාසහිත පාරිසරික
පදනමේ අධ්‍යක්ෂ, ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මහත්මිය පැවැසුවාය. විශේෂයෙන් විනිවිද පෙනෙන ක්‍රීම් ලෙසින් සකසා ඇති ආලේපවල අනිවාර්යයෙන්ම ප්ලාස්ටික් අඩංගුවන බව කී ජයකොඩි මහත්මිය විදේශයන්හි නිෂ්පාදනවල අති බහුතරයක මෙම පොලිතින් අඩංගු වන බව ද කීවාය.

දන්තාලේප ඇසුරනයන්හි  Pe, Pmma, nylon, micro shine beed ආදී වශයෙන් සඳහන්ව ඇත්නම් එයින් අදහස් වන්නේ ප්ලාස්ටික් අඩංගු බව යැයි පැවැසූ ඇය දත්මැදීම පහසු කිරිම සඳහා දන්තාලේපවලට මෙසේ පොලිතින් අංශු එක් කරන නමුත් එයින් විශාල හානියක් සිදුවන බව ද කීවාය.

මුහුණ ස්ක‍්‍රබ් කිරීම සඳහා භාවිත කරන ස්ක්‍රබ් වර්ගවලටත් දැන් දැන් ප්ලාස්ටික් එක් කරන බව ද එම ස්ක්‍රබ් වර්ග ඇල්ලූ විට අතට කුඩා අංශු අසුවන්නේ නම් ඒ ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවත් කී කථිකාචාර්යවරිය එවැනි වර්ග භාවිතයෙන් වැළකෙන ලෙස ඉල්ලා සිටියාය. මෙසේ ක්ෂුද්‍ර පොලිතින් භාවිතයෙන් සිදුවන්නේ පරිසරයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් එක්වීම බවත් මේ අතර මිනිස් සිරුරටත් මේවා ඔස්සේ ප්ලාස්ටික් එක්වන බවත් ඇය පෙන්වා දුන්නාය.

මේ වනවිට සොයාගෙන ඇති පරිදි මෙකී මාර්ග ඔස්සේ සතියකට ක්ෂුද්‍ර ප්ලාස්ටික් ක්‍රෙඩිට් කාඩ් එකක ප්‍රමාණයක් මිනිස් සිරුරට එක්වන බවත් මෙසේ කාලයක් තිස්සේ ප්ලාස්ටික් අංශු එක්වීම රෝග රැසකට හේතුවන බවත් ඇය පෙන්වා දුන්නාය.

-වීනිතා.එම්.ගමගේ-