මේ දිනවල රට තුළ බොහෝ ප්‍රදේශවල වැසි රහිත උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තලිමේන්තුව සදාහන් කරයි,  එමෙන්ම රට තුළ සුළං හමන රටාව සමග ඉදිරියේදී උණුසුම්
කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවිය හැකි බවත්, උදෑසන සහ රාත්‍රී කාලයේදී සීත කාලගුණ තත්වයක් බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

නැගෙනහිර සහ ඌව පළාත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් මඳ වැසි ඇති විය හැකි අතර, සබරගමුව සහ බස්නාහිර

පළාත්වල ගාල්ල, මාතර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.අනෙකුත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති අතර, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරොත්තු වීය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියේය. දිනවල පවතින උණුසුම් කාලගුණ තත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ගෙන් කළ විමසීමේදී ඒ මහතා පවසා සිටියේ,

"පසුගිය වසරවලදී මේ කාලය වනවිට උදේ සහ රාත්‍රියේ ශීත කාලගුණික තත්ත්වයක් තිබෙනවා. උතුරු ඉන්දියාවේ සිට හමන සුළං ධාරාවක් නිසා ඒ තත්ත්වය ඇතිවෙනවා. නමුත් මෙවර ඒ සුළං ධාරාව මෙතෙක් සකස් වී නැහැ.  ඊසාන දිශාවෙන් හෝ නැගෙනහිර දිශාවෙන් දිවයිනට සුළං හමන රටාවක් තමයි දැන් තිබෙන්නේ. එවැනි කාලයකදී ජලවාෂ්ප වායුගෝලයේ තිබෙනවා. ජල වාෂ්ප තිබෙන නිසා ශරීරයට දාඩිය දැමිමත් පිටවෙන්නේ නැහැ. ඒ නිසා රස්නය දැනෙනවා.

මේ ජල වාෂ්පවලින් වැහි වලාකුළු ඇතිවන ප්‍රමාණයක් අවම වෙලා තිබෙනවා. ඒ නිසා හවස් කාලයේ දිවයිනේ නිරිතදිග කොටස් වර්ෂාපතනයක් තිබෙනවා. ඊට අමතරව නැගෙනහිර ඌව උතුරුමැද  උදෑසන කාලයේ සිහින් වර්ෂාපතනයක් වර්ධනය වෙනවා.  ඉදිරියේදී මේ තත්ත්වය සකස්වෙන්න පුළුවන්. ඒ අනුව ඉදිරියේදී උදෑසන සහ රාත්‍රී කාලයේ ශීත කාලගුණයක් ඇතිවෙන්න පුළුවන්. සුළං හමන රටාව සමග දැනට තිබෙන උණුසුම් කාලගුණ තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙන්න පුළුවන්” යනුවෙනි.


-චාමර සම්පත්-