මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට (RMV) අයත් වේරහැර කාර්යාල පරිශ්‍රයේ ඇති මේ වනවිට අක්‍රිය මට්ටමේ පවතින, වාහනවල බර කිරුම් තරාදිය අළුත්වැඩියා කිරීමට ප්‍රතිපාදන තිබියදී එය මග හරිමින් වාහනවල බර කිරුම් කටයුතු පෞද්ගලික ආයතනයක් වෙත යොමු කිරීම කලක සිට සිදුකර ඇති බවට වාර්තා වේ.

මේ පිළිබඳ  කළ සොයා බැලීමේදී අනාවරණය වුයේ අකුණු සැර වැදීම හේතුවෙන් අදාළ බර කිරුම් යන්ත්‍රය කලක සිට අක්‍රිය තත්වයේ පැවති බවත්, ඒ අනුව එය අලුත්වැඩියා කිරීම සදහා රුපියල් ලක්ෂ 07ක පමණ වියදමක් ඇස්තමේන්තු කර ඇති බවය.
කෙසේ වුවද මෙම අලුත්වැඩියා

කටයුතු සිදුකිරිම ටෙන්ඩරයක් මගින් පෞද්ගලික ආයතනයකට
පවරා ඇති අතර, එහෙත් එය සැලකිය යුතු කලක් ගතවනතෙක් සිදුකිරීමට අදාළ ආයතනයට අවස්ථාව හිමි නොවී ඇති බවද වාර්තා වේ. ඒ අනුව බර කිරුම් කටයුතු සඳහා යොමු කරන වාහන වෙනත් පෞද්ගලික ස්ථානයක් කරා යොමු කිරිමට අදාළ සේවකයන් කටයුතු කර ඇති බවට සඳහන් වේ.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර කාර්යාලයේ කටයුතු සොයා බැලීම සඳහා ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගියදා එහි ගොස් තිබේ. ඒ අනුව එහි රියදුරු බලපත්‍ර අයදුම්පත් භාර ගැනීම සඳහා කවුළු 07ක් පමණ ඇති නමුත් මුදල් ගෙවීමේ කවුළු 03ක් පමණක් ස්ථාපිත කර ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයා නිරීක්ෂණය කර තිබුණි. එම තත්ත්ය මෙම කාර්යාලයේ වැඩකටයුතු ප්‍රමාදවීමට හේතුවී ඇති බැවින් ගෙවීම් කවුළු 05ක් දක්වා වැඩි කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

-නිදර්ශනී වික්‍රමසිංහ-