පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව වරෙන්තුවක් ලබාගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස
නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට ඊයේ (23) නියම කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට වලින් අනාවරණය වන අන්දමට රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන්ගේ කටයුතු වලට මැදිහත් වන බවක් පෙනෙන්නට ඇති බවත් විනිසුරු ගිහාන් පිළපිටිය මහතා රන්ජන් රාමනායක මහතා සමඟ එක්ව බොරු සාක්කි සෑදීම සඳහා කුමන්ත‍්‍රණය කළ බව විමර්ශන වාර්තා අනුව පෙනී යන හෙයින් නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට එලෙස නියම කළේය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට සහ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව වෙනම නඩු කටයුත්තක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් ලබාදී ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත්කළ විමර්ශන උධෘත හඬපට හා කරන ලද සාකච්ඡාවලදී ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරව නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට එලෙස උපදෙස් ලබාදී ඇතැයි පැවසු රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර විනිසුරු ගිහාන් පිළපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසද නීතීපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරුන් ඔවුන්ගේ බලතල ක‍්‍රියාත්මක කිරීමේදී හෝ කර්ත්‍යවය ඉටු කිරීමේදී නීත්‍යානුකූල බලයක් නොමැතිව ඔවුන්ගේ කටයුතු වලට බලපෑමක් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ (17 වැනි සංශෝධනයේ ) 111 (ඈ) 02 වැනි උප වගන්තියට ඇති විධිවිධානයන් යටතේද විනිසුරු ගිහාන් පිළපිටිය මහතා දණ්ඩ නීතී සංග‍්‍රහයේ 190 වැනි වගන්තිය යටතේද වැරදි කොට ඇති බවට කරුණු අනාවරණය වන බව නීතීපතිවරයාගේ මතය වී ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය.


ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සහ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට එරෙහිව අලුතින් නඩුවක් ආරම්භ කරන ලෙසද ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසටද උපදෙස් ලබාදී ඇත.
ඔහු පැවැත්වූ දුරකථන සංවාදය පහතින්