දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි දිනවලදී වැසි ඇතිවන බන් කාලගුණ විද්‍යා දෙපාරතම්මේන්තුව පවසයි. නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ මාතලේ  දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. සබරගමුව පළාතේත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක්
තද වැසි ඇතිවිය හැකි බව ද හෙතෙම කීවේය. මන්නාරම, පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40 පමණ දක්වා වැඩි විය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදැසන කාලයේදී මිදුම් තත්ත්වයක් අපේක්ෂා කරන බව ද එම ප්‍රකාශකයා පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. පුත්තලම සිට කොළඹ හරහා කළුතර දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවල නිරතවන්නන් විමසිලිමත්  විය යුතු බව ද කාලගුණ දෙපාර්තමේන්තූවේ එම
ප්‍රකාශකයා කීවේය.

මේ අතර ඊයේ (20) පෙරවරු 8.30න් අවසන් වූ  පැය 24ක කාලයේදී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමිටර 81.4ක වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ රන්ටැඹේ ප්‍රදේශයෙනි.  දැනට පවතින ඊසානදිග මෝසමේ බලපෑමෙන් මෙම වැසි ඇතිවන බව ද හෙතෙම පැවසීය.

-ඩයනා උදයංගනී-