මවකගේ සහ ඇගේ දරුවන් දෙදෙනාගේ සිරුරු ගෙවත්තේ ළිඳක තිබී ඊයේ (31) සොයාගත් බව පොල්පිතිගම පොලිසිය පවසයි. මෙලෙස මරණයට පත්වී ඇත්තේ පොල්පිතිගම පොලිස් වසමේ අංක 369 ග්‍රාම සේවා වසමේ බටුයාය ගමේ පදිංචිව සිටි 35 හැවිරිදි එස්.එස්. සුමුදු සුබාෂිණී (මව) සහ අවුරුදු 07 ක් සහ මාස
දෙකහමාරක් වයසැති ඇගේ දියණියන් දෙදෙනාය. මේ තැනැත්තියගේ සැමියා මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන අතර ඔවුන් සමගියෙන් වාසය කළ බවත් ඔවුන්ගේ නිවෙසද හොඳ තත්වයෙන් සාදා තිබෙන බවත් පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම මව
කාලයක සිට ස්නායු රෝගී තත්වයකින් පෙළෙන නිසා විවිධ ප්‍රදේශවලට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ගෙන ඇතත් සුව්යක් නොමැති නිසා දැඩි මානසික කම්පනයකින් පසුවූ බවද මේ තත්වය හමුවේ ඇය තම සැමියාට ලිපියක් ලියා තියා ඊයේ (31) දහවල් 1.20 ට පමණ තම දරු දෙදනා ද සමග ළිඳට පැන සියදිවි නසාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවී ඇත.

ඇය හා දරුවන් නිවසේ නොමැති නිසා පවුලේ ඥාතියෙකු ඒ ගැන විපරම් කිරිමේ දි ලිපිය දැක සැක සිතී නිවසට යාබදව තිබෙන ළිද පරීක්ෂා කිරීමේදි තිදෙනාගේම සිරුරු එහි පාවෙමින් තිබෙනු දැක ඒ බව ඇය අසල්වාසීන්ට පවසා ඉන් අනතුරුව සිද්ධිය පොලිසියට දැනුම් දී ඇත. කලක සිට ස්නායු රෝගයකින් පෙළෙන නිසා තමා දරුවන්ද සමග දිවි නසාගන්නා බවත් සැමියාට තම මවුපියන් රැකබලාගෙන හොඳින් ජීවත් වන ලෙසත් ලිපියේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි. මවගේ සහ දරුවන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලට ගෙන යනු ලැබීය.

-සිසිර කැලේගම-