කොළඹ මහනුවර මාර්ගයේ වරකාපොළදි ඊයේ (21) අලුයම 3.45ට පමණ ත්‍රිරෝද රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් ත්‍රිරෝද රථයේ සිටි ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනකු මියගොස් ඇතැයි
වරකාපොළ පොලිසිය සීයයි. අනතුරින් මියගොස් ඇත්තේ රත්මලාන ගුවන්  හමුදා කඳවුරේ සැරයන්වරුන් වන කහටගස්දිගිලියේ රන්පත්විල උතුර පදිංචි සමීකුමාර කලුවිල (37), කෑගල්ලේ බල්ලපාන පදිංචි රුවන් සම්පත්  දිසානායක (38), අම්පාර වල්ගම්පුර පදිංචි චමින්ද කුමාර (31) යන තිදෙනා
සහ කෝස්ගම රන්දියගම පදිංචි නායක ගුවන් භට රංජීත් ප්‍රසන්න (28) නැමැත්තාය. ත්‍රිරෝද රථය පදවා ඇත්තේ නායක ගුවන්භට රංජිත් ප්‍රසන්න විසිනැයි පරික්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

ගුවන් හමුදා නිලධාරියකුගේ ඥාතියකුගේ අවමගුලකට සහභාගිවී මාතලේ සිට ආපසු එමින් සිටි ගුවන් හමුදා පිරිස රැගත් ත්‍රිරෝද රථය වරකාපොළ නගරයට නුදුරින් පිහිටි ධර්මසිරි සේනානායක පිළිරුව පසුකරනවාත් සමගම ඉටිරෙදි තොගයක් රැගෙන කොළඹ සිට පොලොන්නරුව බලා යමින් තිබූ කන්ටෙනර් රථයේ මුහුණට මුහුණ ගැටිමීන් පසුව මිටර් 12ක් පමණ ඉදිරියට තල්ලුවී ගොස් තිබිණි. සුන්බුන් ගොඩක් බවට පත්වූ ත්‍රිරෝද රථයේ හිරවී සිටි සිවුදෙනා ඉවතට ගැනිමීට පොලිසියට සහ ප්‍රදේශවාසීන්ට මහත් පරිශ්‍රමීයක් දැරීමට සිදුවිය.

බරපතළ තුවාල ලැබ සිටි සිවුදෙනා නුදුරින් පිහිටි වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි බව පොලිසිය කියයි. තුවාලකරුවන් ගමන් ගත් ත්‍රිරෝද රථයේ තිබි අවමගංල නිවසට ගෙනගිය බැනරයක් හමුවි ඇති අතර මියගිය සිවුදෙනා රත්මලාන ගුවන් හමුදා කදවුරට අනුයුක්ත වූවන් බව තහවුරු කරගෙන ඇත්තේ එම බැනරයෙනි.

ත්‍රිරෝද රථය පැදවූ තැනැත්තාට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බව පොලිසිය සැකකරයි. කන්ටේනරයේ රියැදුරු පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු ඊයේ වරකාපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප පිට මුදාහරිනු ලැබූ අතර අනතුර පිළිබද නඩු විභාගය අවසන් වනතුරු රියැදුරු බලපත්‍රය අත්හිටුවිමට නියෝග කෙරිණි.