අනියම් පෙමක් මුල්කර ගනිමින් පුද්ගලයෙකු යකඩ පොලු වලින් පහරදී ඊයේ (19) රාත්‍රියේදී ඝාතනය කර ඇතැයි නානුඔය පොලීසිය පවසයි.



තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ඩෙස්පෝඩ් වත්ත ප්‍රදේශයේ මාර්ගය අසලදී මෙම ඝාතණය ඊයේ (19) රාත්‍රියේ 8.30 ත් 9.30 ත් අතර සිදු කොට ඇති බවත්, මෙසේ ඝාතණයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ජී. සචින් සසේන්ද්‍ර (43) නැමැති අයෙකු බවත් පොලීසිය කියයි.

මියගිය පුද්ගලයා ඩෙස්පෝඩ් වත්තේ වතු කම්කරු කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් කලක සිට පවත්වාගෙන පැමිණ ඇති ලබන බවත්, ඊට උරණ වු ඇගේ විවාහක සැමියා විසින් මෙම ඝාතණය සිදු කර ඇති බවට පොලීසිය විසින් සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වු ස්ථානයට අද (20) පැමිණ සිදු කරන ලද ස්ථානීය පරීක්ෂණයෙන් පසුව මළ සිරුරු අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යාමට නියමිතව තිබිණි.

සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව මේ පිළිබදව පරීක්ෂණ සිදු කරනු ලබන නානුඔය පොලීසිය පවසයි.
(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)