කුස්සියේ මේසය මත තිබූ තෙල් භාජනයක් පෙරුලුවැයි කෝප වී මාස 13ක් වයසැති තම සිඟිති පුතුට පිහියෙන් ඇන තුවාල සිදු කළ බව කියන මවක් දකුණු කළුතර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

පියා ඇතුළු පිරිසක් තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබූ අතර රෝහල් භූමියේ සැරිසරමින් සිටි සැකකාර මව පෙරේදා (22) රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි සැරයන් (19444) සුසන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පුතා නිතරම තමාට කරදර කරන බවත් පෙරේදා (22) තමා ආහාර පිසිමින් සිටියදී ඔහු කුස්සියට පැමිණ මේසය මත තිබූ තෙල් භාජනය පෙරලූ බවත් කෝපයට පත් තමා එළවළු කපන පිහියෙන් පුතාගේ බඩට පිහි පාරවල් දෙකක්ද, පිටට පිහි පාරක්ද ඇන්න බවත් 25 හැවිරිදි මව පොලිසියට ප්‍රකාශ කර ඇත.මෙම නිවස තුළ සිදුවූ අඩ දබර හා පවුල් ආරවුල් පිළිබඳව මීට පෙරද පොලිසියට පැමිණිලි ලැබී ඇති බවත්, මව විසින් මෙම දරුවාට මින් පෙරද අවස්ථා කීපයකදීම පහරදී ඇති බවත් පොලීසිය කියයි.

රෝහල් ගත කළ දරුවාට පෙරේදා (22) රාත්‍රියේ පැය තුනක පමණ ශල්‍යකර්මයක් සිදු කර ඇති බවත් ඉන්පසු ඔහු රෝහලේ ශල්‍ය වාට්ටුවට මාරු කර ඇති බවත් පොලිසිය කියයි.

සැකකාර මව උතුරු කළුතර හිල් වීදියේ පදිංචිකාරිය‍ක් වන අතර ඇය ඊයේ (23) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න හා කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක නයනජීව, සැරයන් (19444) සුසන්ත හා කොස්තාපල් (55301) ගුණේන්ද්‍ර යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.