මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාග වූ හා විභාග වන නඩු සම්බන්ධව ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවලදී විවේචනාත්මකව අදහස් ඉදිරිපත් කර අධිකරණ කටයුතුවලට අපහාස කිරීම මත විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ලබන 07වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා ඊයේ (24) නියෝග කළේය.


තවද නීතිඥ ප්‍රසන්න මහතා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු හමුවට ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙසද විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.තවද මේ සිද්ධිය සම්බන්ධව සිදුකෙරෙන ඉදිරි විමර්ශන හා නීතිඥ අජිත් ප්‍රසන්නට එරෙහිව චෝදනා ගොනු කරනවාද, නැද්ද යන ඉදිරි පියවර පිළිබඳ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගන්නා ලෙසට විනිසුරුවරයා රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට ඊයේ (24) නියෝග කළේය.

තවද නීතිඥ අජිත් ප්‍රසන්නගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට අධිකරණය හමුවේ ඊයේ (24) පෙනී සිටි රහස් පොලිස් නිලධාරීන්ට විනිසුරුවරයා නියෝග කළේය.කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනෙන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව බලපත්‍ර රහිතව අලි පැටවකු ළඟ තබාගත් බවට වන නඩුව සම්බන්ධව විනිසුරු ගිහාන් කුලතුංග මහතා සම්බන්ධව විවේචනාත්මක ලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කිරීම සම්බන්ධව කරුණු දැක්වීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කළ නොතිසි මත ඊයේ (24) අධිකරණය හමුවේ පෙනී සිටි විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න එසේ රක්ෂිත බන්ධනගාර ගත කෙරුණි.