සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සදාචාරාත්මක හා ආගමික වශයෙන් අපහාසාත්මක අදහස් දැක්වීම සහ පොස්ටු (Posts) පළ කිරීම නැවැත්වීම සඳහා නව නීති හඳුන්වාදීමට ආරක්ෂක අමාත්‍යාංශය සූදානම් වේ. ඒ අනුව
ෆේස්බුක්, ට්විටර්,
ඉන්ස්ටග්‍රෑම් ආදී මෙරට ක්‍රියාත්මක සමාජ මාධ්‍යජාලා ඔස්සේ සිදු කරන එවැනි පළකිරීම් එම මොහොතේම වාරණයට ලක් කිරීමේ නව නීති හඳුන්වාදීමට යෝජිතය.

මේ සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන, සයිබර් ආරක්ෂණය හා තර්ජන වැළැක්වීම සඳහා පුළුල් රාමුවක් ස්ථාපිතකිරීම සඳහා සම්පාදිත සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පතට ඇතුළත් කරන උප ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් කමල් ගුණරත්න ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට උපදෙස් ලබා දී ඇත. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (23දා) කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී කැඳවා තිබූ සාකච්ඡාවකදී පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ නිලධාරීන් අනාවරණය කර ඇත්තේ කෙටුම්පත් කරන ලද අදාළ පනත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින බවයි.

යෝජිත සයිබර් ආරක්ෂණ පනතේ මූලික අරමුණ වී ඇත්තේ ක්‍රෙඩිට් කාඩ්පත් වංචා, අසභ්‍ය කරුණු, වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළුවීම්, අන්තර්ජාලය හරහා බුද්ධිමය දේපොළ සොරකම් කිරීම් සහ රජයට එරෙහි සයිබර් අපරාධ වැළැක්වීමයි. මෙම කෙටුම්පතට අපහාස වැළැක්වීමේ ප්‍රතිපාදන එක්කිරීම ඔස්සේ දැනට ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යජාලා විසින් සිදුක කරන එවැනි දෑ වැළැක්වීමේ වැඩපිළිවෙළ එම ආයතන සමග එක්ව වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට යෝජිතය. මේ අතර මෙම නව පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂණ ඒජන්සිය නම් නව ආයතනයක් පිහිටුවීමටද යෝජනා වී ඇත.

නයන තරංග ගමගේ