මාතර මාකට් පාරේ සාප්පු සංකීර්ණයක ඉහළ මහලේ දී සිවු හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දී දෑත් කඩා උස්සා පොළොවේ ගසා බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එම දරුවාගේ බාප්පා බව කියන තැනැත්තෙකු හා ඊට ආධාර අනුබල දුන් මව ඊයේ (15 වැනිදා) සවස සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

පහරකෑමට ලක්වූ දැරිය
වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර සිටින අතර එම දරුවාගේ අතකට සැත්කමක් සිදුකර ඇති බට ද රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.

දරුවාගේ මිත්තනිය ඒ පිළිබඳ පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.

මෙම පහරදීම සිදු කරන අයුරු ඒ අසල වේළෙඳසැලක සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ පටිගත වි තිබේ. එම දර්ශන මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා මෙම සිද්ධිය කෙරෙහි බොහෝ දෙනකුගේ අවධානය යොමු වී ඇත.

මෙම සිද්ධියට ලක්වූ දරුවා වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි අතර එම දරුවාගේ මවගේ දෙවැනි සැමියා මෙම පහරදීම සිදු කර තිබෙන බව පොලිසිය කියයි.

සැකකරු හා සැකකාරිය මත්කුඩුවලට තදින් ඇල්බිහිවූන් බව ද මූලික පොලිස් පරීක්ෂණවලදි අනාරණය වි ඇත.

අත්අඩංගුවට ගෙන සිටින දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවී සිටියහ.

දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. සිල්වා මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනිල් ප්‍රියන්ත මෙහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන මහතාගේ මෙහෙයවිමෙන් මාතර කොට්ඨාස ළමා හා කාන්තාව කාර්යාංශයේ ස්ථානාධිපතිනි රසිකා දමයන්ති මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ සබ්බන්ධ වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

(ක්‍රිෂාන් ජීවක ජයරුත් සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)