නිකවැරටිය කොබෙයිගනේ ගබඩාව ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික කුකුළු ගොවිපළකදී සුනඛයන්ට වෙඩි තබා සහ පහරදී අමානුෂික අන්දමට ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ ආකාරයට සුනඛයන්ට පහරදී ඝාතනය කිරීමේ දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ දිනවල අත්තජාලයේ සහ සමාජ මාධ්‍ය අතර සංසරණය වෙමින් පවතින අතර මෙම සත්ත්ව හිංසනය පිළිබඳව සමාජය තුළ දැඩි විරෝධතාවයක්ද එල්ල වෙමින් පවතී.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම වීඩියෝව
නැරඹූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහතාද ඒ සම්බන්ධයෙන් කොබේයිගන්නේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසා ඇති බවද වාර්තා වේ.

නිකවැරටිය ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුට අයත් කොබෙයිගනේ පිහිටි කුකුළු ගොවිපළක මෙම සත්ත්ව ඝාතනය සිදුවන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

කුකුළු ගොවිපළේ ඉවත දමන සත්ත්ව කොටස් ආහාරයට ගැනීම සඳහා පැමිණෙන ප්‍රදේශයේ වෙසෙන සුනඛයන් එම ගොවිපළේ සේවය කරන පුද්ගලයකු විසින් පහර දීමෙන් සහ වායු රයිෆලයකින් වෙඩි තබා ඝාතනය කරන බවට තොරතුරු ලැබී ඇත.
 සත්ත්ව කොටස් අනුභව සඳහා පැමිණෙන සුනඛයන් අල්ලා කුකුළූ කූඩුවක් තුළට දමා ඉතා අමානුෂික අන්දමට මරා දමන බවද මේ ආකාරයට කුකුළු ගොවිපල් හිමිකරු විසින් එක් සුනඛයකු අල්ලා මරා දැමීම වෙනුවෙන් එහි සේවකයෙකුට රුපියල් පන්සීයක මුදලක් ගෙවා ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත .

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී නිකවැරටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨෙ පොලිස් අධිකාරී උපුල් චන්දන මහතා සදහන් කළේ, මෙම සත්ත්ව හිංසාව පිළිබඳව පැමිණිල්ලක් ලැබී නැතත් සමාජ මාධ්‍යවල ප්‍රචාරයවූ එම වීඩියෝ දර්ශනය සම්බන්ධයෙන් කොබෙයිගන් පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.


ගීතාංජලී ප්‍රියදර්ශනී, නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා