කොළඹ-කටුනායක අධීවේගි මාර්ගයේ ධාවනය වන සුබෝපභෝගී පෞද්ගලික බස් රථ කීපයකම මගීන් හිටගන රැගෙන යන බව පැවසේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු, අධිවේගී මාර්ග හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී පනත් අනුව සුඛෝපභෝගී බස්වල හිටගෙන මගින් රැගෙනයාම නීතිවිරෝධී බවත්, අධිවේගී මාර්ගයේ
ධාවනය කෙරෙන බස් රථ
කීපයක් සිදුකරන මෙම නීතිවිරෝධී ක්‍රියාව නිසා තමන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇති බවත් අනෙකුත් බස් සේවකයෝ පවසති.

මාර්ග බලපත්‍ර උල්ලංඝණය කරමින් සුඛෝපභෝගී බස්වල හිටගෙන මගීන් රැගෙනයාම පිළිබඳව විරෝධය දක්වමින් පිරිසක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට සහ බලධාරීන්ට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධව කළ විමසීමකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථ කීපයක මගීන් හිටගෙන රැගෙනයාම පිළිබඳව වහා සොයාබැලීමට පියවර ගන්නා බවය.

මෙම සුඛෝපභෝගී බස්වල ආසන සංඛ්‍යාවට වඩා මගීන් ගැනීම සම්බන්ධව සොයා බැලීමට නිලධාරින් යොදවා පරික්ෂාකොට එසේ මගීන් හිටගෙන රැගෙනයන බස් හිමියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව ද සාමාන්‍යාධිකාරි ජගත් පෙරේරා මහතා වැඩිදුරටත් කීය.

මහින්ද නිශ්ශංක