පාසල් සිසුවියක් දැඩි ලෙස රෝගී තත්වයකට පත් වූ අවස්ථාවේ ඇයව රෝහලට රැගෙන යැම සඳහා කිසිවකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එම පාසල් සිසුවිය දැඩි රෝගී තත්වයට හා අපහසුතාවට පත්වීමේ සිද්ධියක් මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලකින් වාර්තා වේ.

ඊයේ (23) මෙම සිද්ධියට මුහුණපෑ  13 හැවිරිදි සිසුවිය හදිසියේම හටගත් ශ්වසන අපහසුතාව හේතුවෙන් රෝගාතුර වී ඇති අතර ඇගේ තත්වය තරමක් බරපතළ බැවින් පාසලේ පාලනාධිකාරිය විසින් දුරකථන ඇමතුමක් ලබාදී "සුවසැරිය' ගිලන් රථයක් පාසලට ගෙන්වා ගෙන ඇති බව සඳහන් වේ.

‘සුවසැරිය' ගිලන් රථයට රෝගී සිසුවීය ඇතුළත් කළද ඇය සමඟ රෝහලට යාමට කිසිවකු හෝ ඉදිරිපත් නොවීම හේත්තුවෙන් ගිලන්රථ කාර්ය මන්ඩලයද භාරකාරයකු නොමැතිව දැරිය රෝහල වෙත රැගෙන යාම ප්‍රතික්ෂේප කොට තිබේ.

විනාඩි පහළොවකට අධික වේලාවක් දැරිය ගිලන් රථය තුළම දැඩි රෝගී තත්ත්වයෙන් පසුවු බව පැවැසෙන අතර ගිලන් රථයේ රියැදුරු විසින් මේ පිළිබඳව පාසල අසල රාජකාරීයේ නිරතචව සිටි පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

වහාම බාලිකා පාසල වෙත පැණි පොලිස් නිලධාරීන් මැදිහත්ව කරුණු වටහා දී ගුරුවරියකද සමඟ සිසුවිය රෝහල කරා යැවීමට කටයුතු කොට තිබේ.

රෝහල වෙත යැවීමෙන් පසුව දැරියට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇත.

මහනුවර - කේ.එල්. සුරවීර