සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වුවද, නොඑසේ නම් විපක්‍ෂනායකයා වුවද සියල්ල සාමාන්‍ය තත්වයේ පසුවන බවත්, ඒ අනුව 'හොඳ නායකයකු' තෝරාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයට
"සෑහෙන්න කාලයක්" ගතවනු ඇති බවත් ආණ්ඩු පකෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. හෙතෙම ප්‍රකාශ කර සිටියේ, "තුනෙන් දෙකක් දෙනවා යැයි කියමින් කල්නොමරා, ආත්ම ශක්තියක් හා 'කොන්දක්' තිබේ නම් කඩිනමින් මහ මැතිවරණයට යෑම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දෙන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට තමන් අභියෝග කරන බවයි.

කෙසේවුවද සිය පාර්ශ්වය මැතිවරණ පරාජය අත්විඳින බවට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම දන්නා බවත්, ඒ අනුව, මැතිවරණයකට
යෑම සඳහා ඔවුන්ට වැඩපිළිවෙළක් නොමැති බවත් සඳහන් කළ අමාත්‍යවරයා, ඕනෑම අවස්ථාවක මැතිවරණයකට යෑම සඳහා 'පොහොට්ටුව' වටා විශාල ජනබලවේගයක් ඒකරාශීව ඇති බවත් සඳහන් කළේය.  ඒ අනුව එළඹෙන මහ මැතිවරණයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක් අත් කර ගන්නා බවද පවසා සිටි අමාත්‍යවරයා, මේ පිළිබඳ වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියේ,

"සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා අපි ඕන සහයෝගයක් දෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා මම දැක්කා තුනෙන් දෙකේ නෙවෙයි සියලුම ඒවා දෙනවලු ‍මේවා අනුමත කරගන්න. ඉතින් මහ මැතිවරණයට දැන්ම සහයෝගය දෙන්නකෝ. ප්‍රේමදාස මහත්තයා ඇතුළු කණ්ඩායමට ආත්ම ශක්තියක්, කොන්දක් තියෙනවා නම් යමුකෝ ඡන්දයට. ඇයි මේ. ඔවුන් දන්නවා ඔවුන් පරදිනවා කියලා.  ඒ හින්දා ඔවුන්ට වැඩපිළිවෙළක් නැහැ. ඔවුන් කුලල් කාගෙන පක්‍ෂය ඇතුළේ. ඔවුන් විපක්‍ෂ නායකත්වයට ප්‍රශ්න ඇති කරගෙන. පකෂ නායකත්වයට ප්‍රශ්න ඇති කරගෙන. දෙකට තුනට හතරට පහට කැඩිලා
ඉවරයි එක්සත් ජාතික පක්‍ෂය.

මැතිවරණවලට කැමති පක්‍ෂයක් තමයි පෙහොට්ටුව. අපි ඕන වෙලාවක මැතිවරණයකට කැමතියි.
පොහොට්ටුව වටා විශාල රැල්ලක්, ජනබලවේගයක්  ඒකරාශී වෙලා තියනවා. ඒ නිසා එන මැතිවරණයෙන් පොහොට්ටුව විශිෂ්ට ජයක් ලබනවා. සජිත් ප්‍රේමදාස මහතා තරම් දුර පෙනේන්නේ නැති දේශපාලනඥයෙක් එක්සත් ජාතික පක්‍ෂයට මෑත  ඉතිහාසයේ නම් බිහිවෙලා නැහැ.

එතුමා මේ ජනාධිපතිවරණයෙන් පැරදිලා. කවුරු අගමැති වුණත්, කවුරු එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා වුණත් මේ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ශුද්ධ පරාජයක් ලබනවා. ඒක තමයි ඇත්ත. එතකොට කවුද ගිහිල්ලා මෙහෙම පරදින එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉල්ලන්නේ. පරදින පක්‍ෂයක රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්න කැමති නම් ඉන්න දෙන්න ඕන. එතුමා අගමැති අපේක්‍ෂකයා වෙන්න ආස නම් ඉන්න දෙන්න ඕනේ. ඊටපස්සෙ තමයි ගන්න ඕන. ඒකෙන් පෙනවනේ ප්‍රේමදාස මහත්තයාගේ දැනුම. කණ්ඩායමක් මේ දක්කගෙන යන නායකයා, මේ ගැලේ බැදලා ඉන්න නායකයාගේ ඇත්ත තත්ත්වය පේනවනේ. කවුද සටන් කරන්නේ පක්ෂ නායකත්වය ගන්න ම් වෙලාවේ.

ජනාධිපතිවරණයේදී සටන් කරලා ගත්තා නම්, ඒක වෙනම දෙයක්, නමුත් ගන්න බැරිවුණා. ඒකෙදි දුන්න ලණුව ගිල්ලා. දැන් දිරවගන්න බැරුව ඉන්න වෙලා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා. එතුමා පක්‍ෂයේ නායකයා වුණත් ඒකයි. විපක්ෂනායකයා වුණත් එකයි. මම හිතන්නේ එක්සත් ජාතික පක්‍ෂයට සෑහෙන කාලයක් යයි හොඳ නායකයෙක් තෝරගන්න” යනුවෙන්ද පවසා සිටියේය.


-නිදර්ශනි වික්‍රමසිංහ-