අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කළ දිල්රක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, 2016 වසරේදී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කෙරිණි.

ඒ වනවිට ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා නීතිපති දෙපාර්තමේන්තූවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර, ඔහු අල්ලස් කොමිසම් තත්ත්වය ඉහළ දැමීමට හා අල්ලස් සිද්ධීන් සම්බන්ධ විමර්ශන සඳහා නවීන තාක්ෂණය යොදාගැනීමට කටයුතු කළේය.

රාජ්‍ය අංශයේ නිලධාරීන් මෙන්ම අල්ලස් පනත යටතේ ආවරණය නොවූ පෞද්ගලික අංශයේ නිලධාරීන්ද අල්ලස් පනත යටතට පත් කිරීම සදහා එම අංශද ආවරණය වන අන්දමට අල්ලස් නීතිය සංශෝධන කරමින් නීති කෙටුම්පත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා විශාල මෙහෙවරක් කළේය.

ලංකා ඉතිහාසයේ මෙතෙක් භාවිතා වූ විශාලතම අල්ලස් වශයෙන්සැලකෙන හිටපු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා සහ රාජන දැව සංස්ථාවේ සභාපතිවරයා කොළඹ ප්‍රසිද්ධ හෝටලයක රථ ගාලක් තුළදී විදේශීය ආයෝජකයෙකුගෙන් රුපියල් කෝටි 02ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේදී අල්ලාගැනීම සිදු වූයේද සරත් ජයමාන්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ සමයේදීය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතාට සමුදීමේ උත්සවයක් පසුගිය 20 වැනිදා අල්ලස් කොමිසමේදී පැවැත්විණි.

බුද්ධිමාල් රුබේරු