https://www.gossiplankanews.com/2020/01/jayalath-manorathne-passed-away.html
ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්න අද (12) අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් යුතුව වාර්තා කරන්නට සිදුව තිබේ.පසුගිය කාලයේ රෝගාතුරව රෝහල්ගතව සිටි ඔහු බොරලැස්ගමුවේ පිහිටි සිය නිවසේදී මිය යන විට 71ක් වියේ පසුවිය. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සිනමාව කවිය ආදී දසත විහිදුණු කලා ක්ෂෙත්‍රවල කුසලතාව පෙන්වූ ඔහු
දැවැන්ත කලාකරුවෙකු විය.
දෙහිපේ ප්‍රාථමික විද්‍යාලයෙන් හා  පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු පාසලේ නාට්‍ය ගුරුවරයා වූ සුනිල් ශ්‍රියානන්දගේ අස්ප ගුඩුං පාසල් වේදිකා නාට්‍යයෙන් රංගන දිවිය ආරම්භ කර තිබුණි. දෙවනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රයන්

සමග එක්ව  නාට්‍ය කටයුතු වලට දායක වූවෙකි. ප්‍රේමතෝ ජායතී සෝකෝ නාට්‍යයෙන් වේදිකා රංගනය ඇරඹූ ඔහු වෙස්සන්තර, මහාසාර, කදා වළළු, එලොව ගිහින් මෙලොව ආවා වැනි වේදිකා නාට්‍ය 37කට  රංගනයෙන් එක් විය.
1976 වර්ෂයේදී සිනමාවට පිවිසි ඒ මහතා මේ දක්වා චිත‍්‍රපට 40 කට වැඩි සංඛ්‍යාවක රගපා ඇත.
හඳයා, සප්ත කන්‍යා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනළ තටු, හිරිපොද වැස්ස, බඹර වලල්ල ප‍්‍රවේගය, හෝගානා පොකුණ, සූම්, ඒලෙවල් එම  චිත‍්‍රපටවලින් කිහිපයකි.
ටෙලිනාට්‍ය 35 කට අධික සංඛ්‍යාවකට ද ජයලත් මනෝරත්න මහතා සිය රංග දායකත්වය ලබාදුන්නෙය.
බෝඩිම, දූදරුවෝ, මඩොල්දූව, වීදුරුමල්, සහ කන්දෙගෙදර ආදිය කිහිපයකි.
සරසවියේ ගත කළ සමයේ සිට කවියෙකු ලෙසද ප්‍රකට වූ ඔහු නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය වල පිටපත් රචකයාද වූයේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළ ඔහු ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධියක්ද සම්පූර්ණ කළේය.ඔහු 2013 ආචාර්ය උපාධියද සම්පූර්ණ කළේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත ආචාර්ය උපාධියක්ද ඔහුට හිමිය.
2004, 2007 සහ 2015 යන වර්ෂවල  සරසවි සිනමා සම්මාන දක්‍ෂතම සහය නළුවාට හා 2002 සුමති සම්මාන  2009 රයිගම් ටෙලීස් සම්මාන  දක්‍ෂතම නළුවාට හිමි සම්මාන දිනා ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා(15) සිදුකිරීමට නියමිතය