ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු  වන ඉර්ෆාන් පතාන් (ඉෆාන් ඛාන් පතාන්) ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පෙරේදා (O4දා) නිවේදනය කළේය. පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන පතාන්, අංශ තුනෙන්ම ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජය කළේය.  වමතින් වේගපන්දු යවන පතාන්,
ටෙස්ට් තරග 29කදී  (ඉනිම් 54) කඩුලු 100ක් බිඳහෙළා ඇති අතර, ඒක්දින තරග 120කදී (ඉනිම් 118) කඩුලු 173ක් දවාගෙන ඇත. එමෙන්ම විස්සයි20 තරග 24කදී (ඉනිම් 23) ඉන්දියාව නියෝජනය කළ ඔහු එහි කඩුලු 28කට හිමිකම් කියයි. මීට අමතරව ටෙස්ට් ලකුණු 1105ක් රැස් කර
ඇති ඔහු ශතකයක් (102) හා අර්ධ ශතක 06ක් වාර්තා කර ඇත. එක්දින පිටියේද අර්ධ ශතක 05කට හිමිකම් කියන ඔහු ලකුණු 1544ක් රැස් කර ඇත.

2003 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර පතාන් ටෙස්ට් වරම් දිනාගත් අතර, ඒ වනවිට ඔහුට අවුරුදු 19ක් විය. ඇඩිලේඩ්හිදී පැවැති එම තරගයේදී ඔහුගේ කුලුඳුල් කඩුල්ල වූයේ මැතිව් හේඩින්ය. පතාන්ගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩඉම් කිහිපයක්ම ඇති අතර, ඒ අතරින් 2006 වසරේ පැවැති ඉන්දීය - පාකිස්තාන තරගාවලිය සුවිශේෂී වෙයි. එහිදී ඔහු පළමු පන්දු වාරයේදීම කඩුලු ත්‍රිත්ත්වයක් (hat-trick) දවා ගැනීමට සමත් විය. ඉන්දියාව විස්සයි20 ලෝක ශූරයන් කරවීමටද පතාන්ගෙන් ඉහළ දායකත්වයක් හිමි වූ අතර, 2007 වසරේ දකුණු අප්‍රිකාවේදී පැවැති පළමු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී පාකිස්තානයට එරෙහිව ඔහු සිය පන්දුවාර 04 තුළදී ලකුණු 16කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් විය.

ඉන්දියාව ලකුණු 05ක තියුණු ජයක් ලැබූ මෙම තරගයේ වීරයා සම්මානයද පතාන්ට හිමිවිය. මීට අමතරව ඉන්දීය ප්‍රිමියර් ලීගය (අයි.පී.එල්.) ක්‍රීඩා කර ඇති  පතාන්, තුළ චෙන්නායි සුපර් කින්ස්, දිල්ලි  ඩෙයාඩෙවිල්ස්,  කිංග්ස්ලෙවන් පංජාබි, රයිසිං පූනේ සුපර්ංයන්ටි හා සන්රයිසර් හයිද්‍රාබාද් යන කන්ඩායම් නියෝජනය කර ඇත. දස වසරකට ආසන්න පතාන්ගේ අයි.පී.එල්. දිවියේ තරග 103කට ක්‍රීඩාකර කඩුලු 80ක් හා ලකුණු 139ක් රැස්කිරිමට සමත් විය. කෙසේ නමුත් 35 හැවිරිදි පතාන්ට 2016 වසරෙන් පසු අයි.පී.එල්. ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු අතර, 2017 ක්‍රීඩක වෙන්දේසියේදීද ඔහු අලෙවි නොවුණි.

-විශ්ව මුදියන්සේ -