වඳ සැත්කම් සිද්ධිය සහ අසිමිත වත්කම් ඉපැයිම් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වී සිටින වෛද්‍ය ෂාෆි ෂියාබ්දීන් මහතා එම චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දිනට පසුදිනම ඔහුගේ සේවය
අත්හිටුවීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහල් නිල අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය. ෂාෆි ෂියාබ්දින් වෛද්‍යවරයාව නැවත සේවයේ පිහිටුවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී ඇතැයි කියන නියෝගය සම්බන්ධයෙන් පැතිර යන ප්‍රවෘත්තියක් පිළිබඳව කළ විමසීමක
දී නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගවුම මහතා මේ බව ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා සැකපිට අත්අඩංගුවට ගත් දිනට පසුදිනම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උපදෙස් අනුව චක්‍රලේඛවලට අනුකුලව ඔහුගේ සියලුම රාජකාරි කටයුතු අත්හිටුවන ලද බව වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය. ෂාෆි වෛද්‍යවරයාව නැවත රාජකාරියේ පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ මෙතක් කිසිදු දැනුම්දීමක් කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබි නැති බවද චන්දන කැඳගමුව මහතා පැවසීය.

පැතිර යන මෙම ප්‍රවෘත්තීය ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට වාසියක් ලබාදීමේ අරමුණින් ගොතන ලද අසත්‍ය පුවතක් විය හැකි බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ කැඳන්ගමුව මහතා සඳහන් කළේය. ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නැවත අරඹා ඇති අවස්ථාවක යළි සේවයේ පිහිටුවීමේ නියෝගයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කෙසේවත් නිකුත් කළ නොහැකි බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා වැඩිදුරටත් පැවසීය.

-පුෂ්පකුමාර ජයරත්න-