ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පස්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අනිද්දා (19)හරාරේහීදී ආරම්භ වීමට නියමිතයි.
ඒ සඳහා සහභාගි වහ ශ්‍රි ලංකා කණ්ඩායම් පසුගියදා දිවයිනෙන් පිටත්ව ගිය අතර එම කණ්ඩායම ගැන දැනුවත් කිරීම වෙනුවෙන් සම්ප්‍රදායිකව පවත්වන මාධ්‍ය හමුවඳ පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විණි.

එහිදී මාධ්‍යවේදීන් කුසල් ජනිත් කණ්ඩායමෙන් ඉවත් කිරීම ගැන තේරීම් කමිටුවේ සභාපතිවරයාගෙන් විමසා සිටි අතර, ඔහු සඳහන් කර සිටියේ පිතිකරණයේ යදිමේදී සිය අන්ත මාරු කර ගැනීමට කුසල් ජනිත් දක්වන දුර්වලතාව නිසා ඔහු කණ්ඩායමෙන් ඉවත් කළ බවයි. එය අපුරු හේතුවකි. එහෙත් එය අපට නම් කබරයත් තලගොයා වන හේතුවකි.

පසුගිය වසරේ පෙබරවාරී මස ශ්‍රී ලංකා කණ්ඩායම ද.අප්‍රිකාවේ සිදුකළ තරග සංචාරයේ පළමු තරගයේ දෙවැනි ඉනිමේදී කුසල් ජනිත් දියත් කළ පිතිහරඹය ලොව ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ටතම ඉනිමක් බව දෙස් විදෙස් විචාරකයින්, ක්‍රිකට් ප්‍රවීණයන් මෙන්ම මාධ්‍යයද ඉතා ඉහළින් අගයමින් සඳහන් කර සිටියේ ය . එවැනි ඉනිමක් දියත් කළ කුසල් ජනිත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාට කිසිදු වැදගත්කමක් නොමැති බව ඔහු සිමිබාබ්වේ තරග සංචාරයට පෙර මාධ්‍ය අමතා කළ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. එමෙන්ම ඔහු එහිදී කුසල් හා සංසන්දනය කර සිටියේ ළහිරු තිරිමාන්නය. ළහිරු ද පිතිකරුවෙකු විය හැකිය. එහෙත් ඔහුට තවමත් ඒ බව ඔප්පු කිරීමට හැකියාවක් ලැබුනේ නැත. ඔහුට තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැනෙන යමක් කරන්නට හැකියාවක් ලැබුණේ නැත.

තවද ළහිරු තිරිමාන්න නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 64ක් ලබා ගන්නේ ඉනිම 12කට පසුවය. ඊට පෙර ඔහු ඉනිම 12කදී ලබාගෙන ඇත්තේ 07, 09, 23, 12, 32, 41, 30,0, 21, 29, 10, 10 ලෙසිනි, නවසීලස්තයට එරෙහිව ළහිරු ලබාගත් ලකුණු 64ට පසුව ඔහු වාර්තා කර ඇත්තේ ලකුණු 02ක් සහ 0කි. එවැනි පිතිකරුවෙකු පන්දුවට පහරදීමේදී හොඳින් සිය අන්තය මාරුකර ගත් බව තේරීම් කමිටුවේ සභාපතිවරයා පසක් කරගත්තේ කෙසේයි නොදනිමු.

ළහිරුට අමතරව කුසල් මෙන්ඩිස්ද මේ වන විට ලකුණු නොමැතිව අසාර්ථකව සිටින පිතිකරුවෙකි.ඔහුද නවසීලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 53ට පසුව ඉනිම 06ක් (10,32,20, 10, 13, 0) අසාර්ථකය. කුසල් මෙන්ඩිස් ද පිතිකරුවෙකු බව සැබෑය. ඔහු අනාගතය වෙනුවෙන් හොඳ ආයෝජනයක් බව සැබෑය. එහෙත් ඔහු ලකුණු අතර නොමැති නම් ඔහු කණ්ඩායමේ සිටීමෙන් ඵලක් නොමැත.

විශේෂයෙන්ම ඔහුගේ ආරම්භය හොඳ වු බැවින් මෙරට ක්‍රිකට් ප්‍රවීණයන්, බොහෝ පැරැණි ක්‍රීඩකයින්, පුහුණුකරුවන් මෙන්ම යම් යම් මාධ්‍යයද ඔහු පිම්බීමේ ප්‍රතිඵලයක් ලෙසින් මෙන්ඩිස් ගැන වැඩි අවධානයක් යොමුව තිබේ, අපට හැගී යන්නේ ඔහුටද ඔහු ගැන ඇත්තේ අධි තරුවක් බවයි. එහෙයින් අප විශ්වාස කරන්නේ ඔහුගේ අනාගතය
වෙනුවෙන් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කොට අඩුපාඩු සකසාගෙන නැවත කණ්ඩායමට පැමිණිමට. අවස්ථාවක් ලබාදිය යුතු බවයි.

සිම්බාවේ තරග සංචාරයේදී ඔහු ලකුණු අතරට පැමිණියහොත් හොඳය. එසේ නොවුණහොත් මෙන්ඩින්ගේ අනාගතයම විනාශ වන්නේය. තරුණ ක්‍රීඩකයින් හැසිරවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම් තවමත් සිටින් පිටුපසිනි.වර්තමාන ටෙස්ට් ක්‍රිකට් තරග රටාව දෙස අවධානය යොමු කිරීමේදී. පෙනී යන්නේ කුසල් ජනිත් වැනි පිතිකරුවෙකු සෑම කණ්ඩායමකට සිටින බවයි. එනම්, එංගලන්තය වෙනුවෙන් ජෝස් බට්ලර්, ද.අප්‍රිකාව වෙනුවෙන් ඩි කොක්, ඉන්දියාව වෙනුවෙන් ෂාබ් පාන්ට්, බ,ඉ. කොදෙව්වන් වෙනුවෙන් ශායි හෝප් සහ පාකිස්තානය වෙනුවෙන් මොහොමඩ් අවාද වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවන් මෙම තරගයක් වෙනස් කළ හැකි පිතිකරුවන්ය.

ඒ පිතිකරණ සංයුතියේ පහළ ක්‍රීඩා කිරීමට එවැනි පිතිකරුවෙකු අවශ්‍ය වන බැවිනි, ශ්‍රී ලංකා කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල සිථිරයද ඔහු තවමත් ඒ සඳහා සුදුස්සකු බව ඔප්පු කිරීමට අසමත් වී ඇත. එහෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවන් ටෙස්ට් ක්‍රිකට් තරග ජයග්‍රහණය කරවිය හැකි කුසල් ජනිත් කණ්ඩායමක් ඉවත් කිරීම වෙනත් කරුණක් නිසා සිදුවූවක් දැයි සැක සිතෙන තරම්ය.

කුසල් ජනිත් කණ්ඩායමෙන් ඉවත් කරන්නේ නම්, ළහිරු තිරිමාන සහ කුසල් මෙන්ඩිස්ද කණ්ඩායමෙන් ඉවත්
කොට මිනෝද් භානුක, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් පැතුම් නිස්සංක යන තරුණ ක්‍රීඩකයින් සිම්බාබ්වේ තරග සංචාරයේදී අත්හදා බලන්නට තිබුණි. ඒ සඳහා සිම්බාබ්වේ තරග සංචාරය තරම් ස්වර්ණමය අවස්ථාවක් නැවත වරක් මෑතකදී හිමිවන්නේ නැත.

තේරීම් කමිටුව එම ස්වර්ණමය අවස්ථාවද මඟ හැරගත් බවද සඳහන් කළ යුතුමය. සිමිබාබ්වේ පිල සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකටි තරගය මෙරට වේලාවෙන් ප.ව 1.30ට ආරම්භ වීමට නියමිතය.

දිනේෂ් මන්ත්‍රීවිතාන