හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ දික්කසාද බිරිය වන රේණුකා දමයන්ති ප්‍රනාන්දු මහත්මිය මේ වනවිට හෝමාගම ප්‍රදේශයේ නිවෙසක පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බව “මවුබිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානයේ සම කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කළේය.
පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා බලශක්ති අමාත්‍යවරයා වශයෙන් සිටියදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන්ද පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස සිටින විට අමාත්‍යවරයාගේ උපදේශකවරයා වශයෙන්ද කටයුතු කළ විද්‍යා අමරපාල මහතාගේ
හෝමාගම ප්‍රදේශයේ පිහිටි නිවෙසේ රේණුකා දමයන්ති ප්‍රනාන්දු මහත්මිය පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයාගේ උපදෙස් පිට මෙසේ නිවාස අඩස්සියේ රඳවාගෙන තිබෙන බවද අජිත් ප්‍රසන්න මහතා පෙන්වා දෙයි.

රේණුකා දමයන්ති ප්‍රනාන්දු මහත්මිය මෙසේ නිවාස අඩස්සියේ තබාගෙන ඇයට බලපෑම් සිදුකරමින් ඇයගේ යම් යම් ප්‍රකාශ අන්තර්ජාලයට මුදාහැරීමට පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා කටයුතු කරමින් සිටින බවද අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.

පාඨලී චම්පික රණවක මහතාගෙන් දැඩි හිංසා පීඩා සිදුවන බවට රේණුකා දමයන්ති ප්‍රනාන්දු මහත්මිය විසින් මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබෙන බවත් පසුව ඇය අධිකරණයට ගොස් පාඨලී චම්පික රණවක මහතාගෙන් දික්කසාද වී සිටි බවත්, අජිත් ප්‍රසන්න මහතා සදහන් කරයි.

රණවක මන්ත්‍රිවරයාගේ දික්කසාදය සම්බන්ධයෙන් හෝමාගම දිසා අධිකරණයේ තිබුණු දික්කසාද නඩු ලිපිගොනුව මේ වනවිට අතුරුදන් වී ඇති බවත්, ඒ ගැන අදාළ ආයතන විසින් වහාම සොයාබැලිය යුතු බවත් අජිත් ප්‍රසන්න මහතා අවධාරණය කරයි.
මීට ඉහත චම්පික රණවක මහතාගේ දික්කසාද බිරිය සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක පෙනී සිටිමින් චම්පික රණවක හා තමා අතර බොරු කතා හදා ප්‍රචාරය කිරීමට මේජර් අජිත් ප්‍රසන්න කටයුතු කර ඇති බවට චෝදනා කර තිබුණි. තමන්ගේ දරු දෙදෙනාට අපහාස කිරීමෙන් වළකින්නැයිද ඇය ඉල්ලා තිබුණි.