මඩකළපුව වෙල්ලාවලි පොලිස් බල ප්‍රදේශයේ තම්බලාවත්ත ගම්මානයේ අවුරුද්දයි මාස අටක දරුවකු වේදනා නාශක බාම් වර්ගයක් කෑමෙන් මිය ගොස් ඇති බව පොලිසිය
කියයි. මෙම දරුවා බාම් වර්ගයක් කෑ බව  දැනගත් පවුලේ අය දරුවා කල්මුණේ මූලික රෝහලට ඇතුලත්කර ඇති අතර එහිදී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය මහ රෝහලට යැවු බව කල්මුණේ මහා රෝහලේ වෛද්‍ය අධිකාරී එස්. මුරලිදරන් මහතා පැවසීය. පේරාදෙණිය රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මිය ගොස් ඇත.  මෙම දරුවාගේ මව අසනීප තත්වයෙන් රෝහල් ගතකර
සිටියදී දරුවා පවුලේ ඥාතීන් විසින් බලාගෙන ඇත. දරුවාගේ පියා විදේශ රටක රැකියාවක් කරන බවද පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හරිකරන් දුශේන් නමැති දරුවකු බව පොලිසිය පවසයි. මේ පිළිබදව විමසීමේදී කල්මුණේ මූලික රෝහලේ ළමා රෝග විශේෂඥ ටී.එම්. රොෂාන් මහතා පැවසුවේ කැවී ඇති බෙහෙත් චර්ගය කුඩා දරුවන්ට ඉතා විස සහිත බවයි. මෙම බෙහෙත ශරීර ගතවී පැයක් ඇතුළත ලේවලට මුසුවෙන අතර මොළයටද හානි කරන බව ඔහු පැවසීය. රජයේ රෝහල්වලින් මෙම බෙහෙත් නිකුත් කිරිමේදී එයට කවලම් කිරීමට වෙනත් බෙහෙතක්ද යොදන බවද ඔහු සඳහන් කළේය.

-වසන්ත චන්ද්‍රපාල-