පසුගියදා හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Harbin Y-12 මාදිලියේ ගුවන්යානය තවදුරටත් පියාසැරියක් සදහා යෙදවීමට තරම් සුදුසු මට්ටමේ නොපැවැති බවට  'සන්ඩේ ටයිම්ස්" පුවත්පත ඊයේ (05දා) කරුණු වාර්තා
කර තිබිණි. ඒ අනුව කිසිදු ගුවන් නියාම ආයතනයක අවසරයකින් තොරව ශ්‍රී  ලංකා ගුවන් හමුදාව මෙම ගුවන්යානා තවදුරටත් මගී ප්‍රවාහනයේ යොදවා ගනිමින් සිටින බවට එම වාර්තාවේ වැඩිදුරටත් කරුණු සඳහන් විය.

විශේෂයෙන්ම මෙම ප්‍රශ්නකාරි Harbin Y-12 මාදිලියේ යානා මෙන්ම Xian MA60 මාදිලියේ යානාවල පියාසැරියට සුදුසු තත්ත්වය පිළිබඳ එම පුවත්පත 2015 වසරේ ජුනි මාසයේදී ප්‍රථමයෙන් අනාවරණයක් කර තිබේ. චීනයේ නිෂ්පාදිත Harbin Y-12 නම් මෙම යානය අනතුරින් එහි ගමන් ගත් ගුවන් හමුදාව නිලධාරින් සිවුදෙනාම ජීවිතක්‍ෂයට පත්විය. මෙම අනතුරට හේතුව එහි සිදුවු කාර්මික දෝෂයක් බව ගුවන් හමුදාව පවසා ඇත. එහෙත් මෙම අනතුරත් එම යානය පියාසැරියක් සඳහා යෙදිය හැකි මට්ටමේ නොපැවතීමත් අතර යම්කිසි සබඳතාවක් ඇත්දැයි යන්න අනාවරණය වන්නේ, අනතුර  පිළිබඳ සිදුකරන පරීක්‍ෂණයේ ප්‍රතිඵල අනුව බවද මෙම මාධ්‍ය වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව මේ වනවිට Harbin Y-12 මාදිලියේ ගුවන්යානා දෙකක් පවතියි. එම යානා දෙකම ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් නම් ගුවන් සේවාවේ විශේෂිත (චාටර්) ගුවන් පියාසැරි සඳහා යොදා ගෙන ඇති බව එහි වෙබ් අඩවියේ පවා ප්‍රසිද්ධියට පත් කර ඇත. මෙම හෙලිටුවර්ස්
සේවාව ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන වාණිජ මගී ප්‍රවාහන ගුවන් සේවාවකි.මෙරට සිවිල් ගුවන් සේවා පිළිබඳ නියාමකයා වන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරී මෙම සමාගම වෙත එල්ල කර ඇති බරපතළ චෝදනා පවා නොතකමින් අදාළ සමාගම මෙම ගුවන්යානා යොදා ගනිමින්  මගී ප්‍රවාහන කටයුතු සිදු කරමින් සිටින  බවද  "සන්ඩේ ටයිම්ස්" පුවත්පත පවසයි.

අද වනවිට හෙලිටුවර්ස් සමාගම පලාලි, ත්‍රිකුණාමලය සහ මඩකලපුව වෙත පෙර සකස් කළ කාලසටහනකට අනුව මෙම ගුවන් පියාසැරි සිදු කරයි. මෙම අනතුර සිදුවීමෙන් අනතුරුව ' සන්ඩේ ටයිමිස්' පසුගිය සති අන්තයේදී ද මෙම හෙලිටුවර්ස් කාර්යාලය අමතා ගුවන්යානයක් වෙන් කිරීමට කළ ඉල්ලීමකදී ද, කාලසටහනකට අනුව පියාසැරීය සිදුකරන මෙම චාටර් ගුවන් සේවාවට අදාළ ගුවන් ටිකට්පත් තවමත් ලබාගත හැකි බවට පවසා ඇත. එහිදී මෙම ප්‍රශ්නකාරි Harbin Y-12 මාදිලියේ යානාද පවතින බවට හෙලිටුවර්ස් සමාගම තමන්ට දැන්වූ බවද එම පුවත්පත පවසයි.

කෙසේ වෙතත් ගුවන් හමුදාව මෙලෙස මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබෙන Harbin Y-12 සහ Xian MA60 මාදිලියේ යානා සතුව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරී මගින් නිකුත් කරන ගුවන් පියාසැරියක යෙදවීම සඳහා අවශ්‍ය වන සහතිකය (COA) හිමි කරගෙන නොමැති බවද 'සන්ඩේ ටයිම්ස්' වාර්තාව අනාවරණය කරයි. එසේම හෙලිටුවර්ස් සමාගමටද තවදුරටත් ගුවන් මෙහෙයුම් සිදුකිරීමේ සහතිකයක්ද (AOC) නොමැති බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.