ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ද සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා.

ජනාධිපතිවරණය අවසන්ව නව රජය පිහිටුවීමෙන් ඉතා කෙටිකලක් තුළ, එනම් පසුගිය දෙසැම්බර් මුල් සතියේදීම ඒ මහතා ඇමරිකාව බලා පිටවගොස්
ඇත්තේ ද ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ මූලික කටයුතු සම්පූර්ණ කරගැනීම සඳහා බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

2015 වසරේ මහින්ද රාජපක්ෂ රජය පරාජයට පත්වීමෙන් පසුව ඇමරිකාව බලා පිටත්ව ගොස් නැවත ලංකාවට පැමිණ පසුගිය වසර 5 තුළ තිරයෙන් පිටුපස හිඳිමින් රජුන් තනන්නාගේ භූමිකාව ඉටුකළ ඒ මහතා යළි දේශපාලන කරළියට පිවිසීමට නියමිතව ඇත.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ජනාධිපතිවරයා වීමට නුසුදුසු ලෙස නම්කර ඇති නිසා බැසිල් රාජපක්ෂ මහතාට ද සිය ඉදිරි දේශපාලන ගමන වෙනුවෙන් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට සිදුව තිබේ.