මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කෙරුණු ගාලු කුමාරි දුම්රියට අලුත්ගම දුම්රිය ස්ථානයට ආසන්නයේ ඇති ස්වයංක්‍රීය සංඥා ක්‍රියාත්මක වන අනාරක්ෂිත හරස් මගකින් ධාවනය කළ යතුරු පැදියක් දුම්රියේ ගැටීමෙන් එහි ගමන් කළ තරුණයන් දෙදෙනකු (23) දා සවස මියගොස් ඇතැයි අලුත්ගම පොලීසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ පරෙයිගම පැතියවෙල ජනපදයේ පදිංචි රනිදු බද්දෙවිතාන (16) හා පරෙයිගම පැතියවෙල ජනපදයේ පදිංචි තාරුක දිල්ශාන් (24) නමැති තරුණයන් දෙදෙනෙකි.

මෙම අනතුරට ලක් වූ එක් තරුණයකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් තරුණයා කළුතර
නාගොඩ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. එම ස්ථානයේදීම මියගිය තරුණයාගේ සිරුර අලුත්ගම දුම්රිය ස්ථානයට බාර දී තිබු බව ද පොලිසිය සඳහන් කරයි.

"මෙය අනාරක්ෂිත දුම්රිය මාර්ගයේ අනාරක්ෂික ගෙට්ටුවකි. ගේට්ටුකරුවන් ඉවත්කර ඇත" යනුවෙන් දැන්වීම් පුවරුවක්ද සවිකර ඇති බව ද පොලිසිය සඳහන් කරයි.  මෙම සිද්ධිය සිදුවීමත් සමග ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් පිරිසක් එම දුම්රිය හරස් මඟ අවහිර කරමින් දුම්රිය මඟට ටයර්, යකඩ, සිල්බර කොට දමා එම ස්ථානයේ කලින්  සේවය කළ මුරකරු නැවත ලබා දෙන්නැයි කියමින් ඔවුහු විරෝධතාවයක් ද දැක්වූහ.

මෙම විරෝධතාවයත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල දෙසට ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රියන් 6ක් සවස 6 වනතුරු බේරුවල, මග්ගොන, පයාගල, දකුණු කළුතර ඇතුළු දුම්රිය ස්ථානයන්හි නතර කර තිබෙන බවත්, මාතර සිට මහනුවර දක්වා ගමන් කරන දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබෙන බවත් මේ හේතුවෙන් නවතා තිබෙන දුම්රියන් තුළ මඟින් විසිදහසකට අධික පිරිසක් සවස 6 වන විට දැඩි පීඩාවට පත් වී සිටියහ.

මෙම ස්ථානයට පැමිණි කළුකර කොට්ඨාස භාර වැඩබලන පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා විරෝධතාවට එක් වූ පිරිස සහ දුම්රිය බලධාරින් සමඟ දුරකතනයෙන් සිදුකරගන් එකගතාවයක් මත පසුව විරෝධතාකරුවෝ විසිර සියහ. සිද්ධිය පිළිබඳ අලුත්ගම පොලිස්  ස්ථානාධිපති උපුල් ප්‍රියලාල්, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් චමින්ද  යන මහත්වරු ඇතුළු පිරිසක් පරික්ෂණ සිදුකරන අතර අවහිර කරන ලද දුම්රිය මාර්ගය ප්‍රදේශවාසීන් විසින්ම යථා තත්වයට පත් කළහ. පැය තුනකට අධික කාලයක් මෙම විරෝධතාව පැවැත්විණ.

-තුසිත කුමාර ද සිල්වා-