කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ පිටවිමේ පර්යන්ත තහනම් කලාපයේ ගුවන් මගීන්ට හිරිහැර වන සේ නීති විරෝධීව රැඳී සිටි තැරැව්කරුවන් නවදෙනකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. මෙම තැරැව්කරුවන් පිටවීමේ පර්යන්තයේ රැඳි සිටිමින් දෙස් විදෙස් ගුවන් මඟින්ට
හිරිහැර වන ලෙස හැසිරෙන බවත් මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලැබුණු තොරතුරක් මත බුද්ධි අංශ භට කණ්ඩායම් පෙරේදා (18) පස්වරුවේ සිදුකළ හදිසි වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරුවන් වයස අවුරුදු 68-30 අතර වයසේ පසුවන්නන් වන අතර, ඔවුහු ආඩිඅම්බලම, ගාල්ල, මිනුවන්ගොඩ, මිගමුව, හතරලියැද්ද, වාරියපොල, වලස්මුල්ල, මිනුවන්ගොඩ, සිදුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙම පිරිස කිසිදු අවසරයකින් තොරව මෙම ස්ථානයේ රැඳී සිටිමින් විවිධ තැරැව් කටයුතු සිදුකරන බවත් ඇතැම් අවස්ථාවල ගුවන් මගින්ගේ දේපළ සොරා ගැනීම සිදුකරන බවටත් පැමිණිලි ලැබී ඇත.භට පිරිස් මෙම ස්ථානය වටලන අවස්ථාවේ ඉහත ස්ථානයේ රැඳී සිටියේ මෙම සැකකරුවන් පමණක් බවත් සෙසු දිනවල තවත් පිරිස් සංවිධානාත්මකව මෙම ස්ථානයේ රැදී සිටින බවත් විශේෂ කාර්ය ළකාය පවසයි.

විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ බුද්ධි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නදික සිල්වා මහතාගේ මෙහෙයවිමෙන් ගිය භට කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක පොලිසියට බාර දී ඇති අතර කටුනායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

-ඉන්දිකා රාමනායක-