වැඩ තහනම් කරනු ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේස්කර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (23) පැය 5ට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය. අධිකරණ නියෝගයකට අනුව ශානි අබේසේකර මහතා ඊයේ පෙරවරු
9.15ට පමණ අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණි අතර ඔහුගෙන් ප්‍රශ්න කිරිම සහ ප්‍රකාශය සටහන් කරගැනීම පස්වරු 3 දක්වා සිදුකෙරිණි.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිද්ධියට අදාළව ලේක්හවුස් හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ ස්විට්සර්ලන්තයට පළාගොස් සිටින පොලිස් පරික්ෂක නිශාන්ත සිල්වා ඇතුළු
කිහිප දෙනෙකු සමග දුරකතන සංවාද පැවැත්වී යැයි කියන සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශානි අබේස්කර මහතා මෙසේ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණ.

ශානි අබේසේකර මහතා ප්‍රකාශය ලබාදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටවී ගිය අවස්ථාවේ එම ස්ථානයේ සිටි  මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඔහු පසුපස ගමන් ගත්තද මාධ්‍ය වෙත කිසිඳු ප්‍රකාශයක් ලබා නොදී පිටුපස ගේට්ටුවෙන් මෝටර් රථයක නැගී පිටත්ව ගියේය.

ශානි අබේසේකර මහතා අපරාධ පරික්‍ෂණය දෙපාර්තමේන්තුවෙන් පිටව පොලිස් වාහනයක නැගී ගොස් ඇති බව පොලිසියට තොරතුරු ලැබී ඇත. එම වාහනය ඉහළ පොලිස් නිලධාරියකුට අයත් එකක් බවට තොරතුරු හෙළිව ඇති අතර වැඩ තහනමකට ලක්වී සිටින නිලධාරියකුට පොලිස් වාහනයක් ලබාදීම සම්බන්ධයෙන් පොලිසිය පරික්‍ෂය පැවැත්වීමට නියමිතයි.

-ඉන්දිකා රාමනායක-