කොළඹ නාරාහේන්පිට ලංකා හොස්පිටල් පුද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට අදාළව වෛද්‍ය වාර්තා සමග පෙබරවාරි මස 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට  ඉකුත්දා (06) නියෝග කළාය. "සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාච" සම්බන්ධයෙන් ඇප ලබා සිටින
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහුගේ අසනීප තත්වයට අදාළව රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට අදාළ ලේඛන ද සමග අධිකරණයට ඉදිරිපත් කරන ලෙය මහේස්ත්‍රාත්වරිය, සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි නිතීඥවරුන්ට මෙම නියෝගය නිකුත් කළාය.  මෙම සිද්ධියට අදාළව සැකකාර හිටපු අමාත්‍යවරයාගෙන් මෙතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වූ බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට කළ දැනුම් දීමකට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම සැකකරු නේවාසිකව ප්‍රතිකාර ලබන රෝහලේද්දී විවිධ පුද්ගලයින් සමඟ සාකච්ඡා පවත්වා ඇති බවට මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණු බවත්, එවැනි හැකියාවක් තිබෙන මෙම සැකකරු මෙතෙක් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබා නොදුන් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.  මෙම නාටකයේ ප්‍රධාන චරිතය වන මේ සැකකරු ඒ සියල්ල හසුරුවමින් රෝහල්ගතව සිටින බව ද අධිකරණය මගින් ලබාදී තිබූ ඇප කොන්දේසියක් වචන ප්‍රකාශයක් ලබාදීම සිදු නොකර සිටින බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට සඳහන් කළේය.මෙහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ තමන් ඇප කොන්දේසියක් වශයෙන් සඳහන් කළේ සැකකරු නේවාසික ප්‍රතිකාරවලින් බැහැර වූ වහාම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට යන්නය.

මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යරයාට අධිකරණය මගින් ඇප නිකුත් කරනු ලැබුවේ ඉකුත් 30 වැනිදාය. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත ප්‍රකාරව අදාළ අපේක්ෂකයා තෝරා පත්කර ගැනීමේදී මෙම සිදුවිමෙන් ප්‍රබල බලපෑමක් ඇතිවී නොමැති බවත් මේ වනවිට ජනාධිපතිවරයා තේරි පත්වී ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය මෙයින් මහජන කැලඹීමක් ඇතිවන බවට නිගමනය කළ නොහැකි බවට තීරණය කරමින් හිටපු අමාත්‍යවරයාට එලෙස ඇප නියම කළාය. මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තුන්වන සැකකරු ලෙස නම් කිරිමේ ක්‍රියා පටිපාටියේ ඇති දෝෂය පිළිබඳව අවධානය යොමු කරනු ලබන බවත්, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පනතේ ඇප ලබාදීම සම්බන්ධයෙන් සඳහන්ව නොමැති බැවින් එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ උපලේඛනයේ අවසානයේ ඇති වෙනත් නීතිවලට ඇති යන කොටස ප්‍රකාරව ඇප ලබාදීමට තීරණය කරනු ලබන බව ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය සිය ඇප නියෝගයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණේ ඉකුත් 20 වැනිදාය.