පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාද පවත්වා පොලිස් සේවාව අපකීර්තියට පත්කළැයි වැඩ තහනම් වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් නුගේගොඩ මහේස්ත්‍රාත් එච්.යු.කේ. පැල්පොල
මහතා ඊයේ (08) නියෝගයක් පැනවිය.  විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට නියම කළේය.

රන්ජන් රාමනායක මහතාගේ හඬපට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළ විශේෂ පුද්ගලයකු වන ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරීවරයා විදෙස් ගතවීමේ සූදානමක් ඇති බවට තොරතුරු හෙළිවී ඇති බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන අය කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් 124 වන වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කළේය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙම ඉල්ලීම කළේ ගිනිඅවි ආඥා පනත සහ පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි හිටපු රාජ්‍ය අමත්‍ය රන්ජන් රාමනායක මහතා සම්බන්ධ නඩුවට මෝෂන් පත්‍රයක් ගොනු කරමිනි.  කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් සිල්වා මහතා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු යන මහත්වරු අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූහ.

මෙම ආන්දෝලනාත්මක හඩ පට සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා කළ නියමයකට අනුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් 125 වගන්ති ප්‍රකාරව බස්නාහිර දිසාව දකුණ අපරාධ කොට්ඨාසයෙන් මෙම විමර්ශනය තම කොට්ඨාසයට බාරගත් බව අධිකරණයට දන්වා සිටි කොළඹ අපරාධ කොට්ඨාසය එම හඬ පටවලට ඇතුළත් සංවාදවල සඳහන් වැදගත් කරුණු දන්නා පුද්ගලයකු ලෙස වැඩ තහනමකට ලක්වී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී ශානි අබේසේකර මහතා මෙම විමර්ශනය සඳහා අත්‍යවශ්‍ය පුද්ගලයකු බව ද මෙම විමර්ශනය මගහැර විදෙස් ගතවීමට
ඔහුගේ උත්සාහයක් ඇති බවට කරුණු හෙළිවී ඇති බවද  කියා සිටියේය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් 124 වගන්තිය ප්‍රකාරව මෙම තැනැත්තාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ආන්දෝලාත්මක හඩපට සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එම විමර්ශනයක් අනතුරුව අධිකරණය වෙත වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරනු ලබන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත්  අධිකරණය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ විදෙස් ගමන් තහනම් කරමින් සිද්ධියට අදාළ විමර්ශන පවත්වා ලබන 17 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

ගිනිඅවි ආඥා පනත සහ පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි බස්නාහිර දිසාවේ දකුණු අපරාධ කොට්ඨාසයෙන් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරුණු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 05 වැනිදාය.

එදිනම, හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කළ අධිකරණය, එම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ද නියම කළේය.  මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ඒ 5 දරන ස්ථානයට අදාළ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත බස්නාහිර දිසාව දකුණු අපරාධ කොට්ඨාසය පසුගිය 4 වැනිදා පස්වරුවේ එම ස්ථානය සෝදිසියට ලක්කළ  අතර එහිදි මෙම හඩපට සහිත දෘඪ තැටි කිහිපයක් ද සහිතව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබිය.

සැකකාර මන්ත්‍රීවරයා සන්තකයේ තිබී බලපත්‍රයක් රහිත මිලිමිටර් 9 වර්ගයේ  ගිනිඅවියක් අත්අඩංගුවට ගත් බවත් එම ගිනිඅවිය සම්බන්ධයෙන් අවසන් වරට බලපත්‍රයක් ලබාගෙන තිබුණේ ඉකුත් 2016 වර්ෂයේ බවත්, එම බලපත්‍ර අංකය 007082 දරන සී58/එස්ඵෆ්/005/134/2016 යන්න බවත්  පොලිසිය අධිකරණයට දන්වා තිබිණි.

-නිමන්ති රණසිංහ-