අභ්‍යාසලාභී ගුරුවරියකගේ සේවය ස්ථිරකර දීම සඳහා ඇගේ ඥාතියකුගෙන් රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ නිකවැරටිය හිටපු සහකාර කලාප අධ්‍යාපන  අධ්‍යක්‍ෂවරියට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා වසර 20 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ නියම
කළේය. විත්තිකාරියට නියම කළ සිරදඩුවමට අමතරව රුපියල් 20,000ක දඩයකටද ඇය යටත් කළ විනිසුරුවරයා විත්තිකාරිය අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්‍ෂ 02 ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා
අනෙකුත් රාජ්‍ය සේවකයන්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඩුවමක් විත්තිකාරියට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ මනොදි හේවාවසම් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා විත්තිකාරියට එම දඩුවම් නියම කළේය.විත්තිකාරියට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි ද විනිසුරුවරයා තීරණය කළේය.

චෝදනාවට වරදකරු වීම නිසා මෙලෙස  දඩුවම් නියම වූයේ නිකවැරටිය සහකාර  කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය වශයෙන් සේවය කළ රෝහිණි වසන්තා කුමාරිහාමි නමැත්තියටය. 2011 ජුනි මස පළමුවැනිදාත් ජුලි මස පළමුවැනිදාත් අතර කාලයේදී නිකවැරටිය සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරිය වශයෙන් සේවය කරමින් සිටියදී අභ්‍යාසලාභී ගුරුවරියකගේ සේවය ස්ථිර කරදීම සඳහා ඇගේ ඥාතියකුගෙන් රුපියල් ලක්‍ෂ 2 ක
අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් උඩ අල්ලස් කොමිසමෙන් විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ මනෝ හේවාවසම් මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇතැම්  රාජ්‍ය සේවකයන් අල්ලස් ලබාගැනීම හේතුවෙන් පොදුවේ සියලු රාජ්‍ය සේවකයන් මහජනතාව අතර දැඩි පිළිකුලට භාජනවන අතර රටේ ආර්ථිකයටද දැඩි හානි සිදුවන බව පෙන්වා දුන්නාය.සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයන්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ උපරිම දඩුවමක් විත්තිකාරියට නියම කරන්නැයි මනෝදි හේවාවසම් මහත්මිය ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සැලිකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකාරියට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම කොට එය වසර 10ක කාලයකින් ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරිමට නියම කළේය. ඊට අමතරව ඇයට නියම කළ දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුවහොත් අමතර වසර 03 ක සිරදඩුවමකටද ඇය යටත් කෙරිණි. පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ මනෝද හේවාවසම් මහත්මිය පෙනිසිටියාය.

-මනෝප්‍රිය ගුණසේකර-