පොලීසිය ඇතුළු විමර්ශන ආයතනවලට ස්වාධීනව කටයතු කිරීමට රජය ඉඩලබාදිය යුතුබව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ජාතික ජන බලවේගය ඊයේ(04)
බත්තරමුල්ල ප්‍රදේශයේ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේ අපරාධ බොහෝමයක් සිදුව ඇතැයි පැවසු ඒ මහතා, බැඳුම්කර වංචාව ඇතුළු අමාත්‍යාංශ වංචා ගණනාවක් ඒ අතර වෙන බවත් කියා සිටියේය.
ඒ වංචා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් විය යුතු බවත් පැවසු ඒ මහතා, මේ මොහොතේ වත්මන් ආණ්ඩුව විසින් රහස් පොලීසියේ හෝ වෙනත් කණ්ඩායමක් නම් කර ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ සිදු කරන ලෙස පැවසුවහොත් ඔවුන් මෙම පරීක්ෂණය කරන්නේ කෙසේ දැයි කල්පනා කරයි යනුවෙන් ද පැවසීය.
එම පරීක්ෂණ සිදු කරමින් තිබිය දී තවත් වසර 5 කින් පමණ එජාප ආණ්ඩුවක් පැමිණියහොත් ගෙදර යෑමට සිදුවනු ඇතැයි ඔවුන් කල්පනා කරනු ඇතැයි ද ටිල්වින් සිල්වා මහතා මෙහිදී කියා සිටියේය.
එසේ කල්පනා කරන විට දේශපාලන නායකයින් සම්බන්ධයෙන් කිසි දිනක පරීක්ෂණයක් සිදු කිරීමට නොහැකි බවත් පැවසු ඒ මහතා, ඔවුන් සෑම දාම අපරාධ කර නිදැල්ලේ සිටිනු ඇතැයි ද පැවසීය.