නිවසේ බිත්තියකට මැදිව ඇති රාජාභරණ තොගයත් රැගෙන දෙන බව පවසමින් කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ තුන හමාරකට ආසත්ත මුදලක් වංචා කර වරද පිළිගත් කට්ටඬියකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත
මුදා හැරීමට වාරියපොළ වැඩ බලන මහේස්ත්‍රාත් ධර්ම ශ්‍රී මනතුංග මහතා පසුගිය 30 වැනිදා නියම නලළේය. වාරියපොළ මලගනේ ප්‍රදේශයේ විහාරස්ථානයක අසනීපවලට ප්‍රතිකාර කිරීම සහ ශාන්තිකර්ම සිදුකරන බව පවසමින් මෙම කට්ටඬියා මෙසේ මුදල් වංචා කර ඇති බව වාරියපොළ පොලිසිය කියයි. අදාළ කාන්තාව
කළ පැමිණිල්ලට අනුව එම කට්ටඬියා සහ ඔහුගේ බිරිඳ පාවිච්චි කළ වාහනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවූ බව වාරියපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත ඛණ්ඩාර මහතා පැවැසීය.

පසුගිය පෙබරවාරි මාසයේදී තම නිවෙසේ ඇති ගැටලු සම්බන්ධව පේනයක් බැලිමට පැමිණි පැමිණිලිකාර කාන්තාවට මෙම කට්ටඬියා පවසා ඇත්තේ ඇයගේ නිවෙසේ බිත්තියකට මැදිව රාජාභරණ කටිටලයක් ඇති බවත් එය එළියට නොගතහෝත් කාත්තව මරණයට පත්වන බවයි. මෙයින් භීතියට පත් කාන්තාව කට්ටඬියාගේ ඉල්ලීම මත වරින් වර රුපියල් තුන් ලක්ෂ හතළිස් දහසක මුදලක් ඔහුට ලබාදී ඇතත් මාස ගණනාවකින්වත් කිසිම කටයුත්තක් සිදු නොවීම හේතුවෙන් කාන්තාවගේ පුත්‍රයා පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර තිබිණි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දි වරද පිළිගත් අතර ලබන ජනවාරි 20 වැනිදා සියලු මුදල් කාත්තාවට ආපසු ගෙවන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කළේය.

-ප්‍රභාත් නෙත්තසිංහ-