මාතලේ. උකුවල, ගුරලවෙල කන්දේමඩ ප්‍රදේශයේ දකුණු වේදපිහිල්ල වෙල්යායේ වල් ඌරන්ට ඇඳ තිබූ විදුලි රැහැනක පැටලි එකම පවුලේ තිදෙනකු පෙරේදා (29) රාත්‍රියේ මියගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගුරලවෙල දකුණ පදිංචි තිදරු පියකු වන ජී.ජී. වීරසේන (65). ඔහුගේ බිරිඳ ඩී.ජී. මල්ලිකා (53) සහ පුතාගේ බිරිය වන ඉරේෂා ශාන්ති අමරජිව
(30) යන තිදෙනායි.

මෙම අනතුරින් මිය ගිය වීරසේන පෙරේරා සවස 5ට පමන කිතුල් මල කැපීමට පිටත්ව ගොස් ඇති අතර රාත්‍රී 10 වනතුරුත් ඔහු නිවෙසට නොපැමිණීම නිසා ඔහු සෙවීමට බිරිය සිය ලේල්ලිය සමග ගොස් ඇති අතර
වෙල්යායෙන් ඇවිද යන විට ඔවුන් දෙදෙනාට ද විදුලිය සැර වැදී දෙදෙනාම මියගොස් ඇති බව පරික්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි මාතලේ වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ ලසන්ත පී.බාලසූරිය මහතා එහිදී මහේස්ත්‍රාත් පරීක්‍ෂණ පවත්වා මියගිය තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන ලෙස මාතලේ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට නියම කළේය.

ඒ අනුව පශ්චාත් මරණ පරික්‍ෂණය මාතලේ මහ රෝහලේදී ඊයේ (30) සිදුකිරිමට නියමිතව තිබිණි.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එස්.ඩී.එස්.පී. සන්දනායක මහතාගේ උපදෙස් මත මාතලේ මූලස්ථාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරිහු පරීක්‍ෂණ පවත්වනි.

මාතලේ විශේෂ - මහේෂ් කීර්තිරත්න