"හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් අගමැති අතේ” නමින් පළවූ ප්‍රවෘත්තිය පදනම් විරහිත, අසත්‍ය පුවතකැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩලයට සහ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැවරි
තිබුණේ ද අග්‍රාමාත්‍ය
තනතුරට අදාළ වන්නා වූ නිල ලිපිගොනු පමණකැයි ද එහි සඳහන් වේ. හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

දෙසැම්බර් 1 වැනිදා "සන්ඩේ ටයිම්ස්" පත්‍රයේ සහ දෙසැම්බර් 2 වැනිදා "ලංකාදීප" පත්‍රයේ "හිටපු කැබිනට් ඇමතිවරුන්ගේ ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් අගමැති අතේ" නමින් පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇත.  මෙම ලිපිගොනු වික්‍රමසිංහ මහතා විසින් සකස් කළ ඒවා යයි ද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.  මෙය පදනම් විරහිත අසත්‍ය ප‍්‍රවෘත්තියකි. සිය පාලන කාලය තුළ වික්‍රමසිංහ මහතා ලිපිගොනු සකස් කිරිමේ කාර්යයක නිරත වී  නැත. වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩලයට  හා අග්‍රාමාත්‍ය කාර්යාලයට පැවැරි තිබුණේ ද අග්‍රාමාත්‍ය තනතුරට අදාළ වන්නා වූ නිල ලිපිගොනු පමණි. ඒ සියලු ලිපිගොනු අරලියගහ මන්දිරයේ  සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිසි අයුරින්
ලේඛනගත කර ඇත.