වාද්දුව ප්‍රදේශයේ ජනප්‍රිය  පාසලක විනයභාර සහකාර විදුහල්පතිවරයා සිසුවකුට දුන් අවවාදය ගැන උරණ වී එම සිසුවා ගුරුවරයාට පහරදුන් බවට පැමිණිල්ලක්
ලැබී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි. මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින මෙම සිසුවා ඇතුළු සිසුන්ට විභාග ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා තම මව්පියන් සමග විදුහලට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසු එසේ පැමිණි
සිසු සිසුවියන් මව්පියන් ඉදිරියේදීම අ.පො.ස. (සා.පෙ.) විභාගයට සාර්ථකව මුහුණදෙන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු ඒ අතරතුර සිටි සිසුන් කිහිප දෙනෙකු විනය විරෝධී ලෙස හිස් වැසුම් පැළඳ සිටි අතර විනය භාර ගුරුවරයා ඒ පිළිබඳව කළ අවවාදය නොරිස්සු එක් සිසුවෙකු තම මව ඉදිරියේදීම ගුරුවරයාට මුහුණට පහර දී ඇතැයි පොලිසිය පවසයි.


නොසිතූ විරු ලෙස සිදුවූ මෙම සිද්ධියේදී මව්පියන් හා ගුරුවරුන් මැදිහත් වී එම සිසුවිය විදුහල්පතිවරයා වෙත රැගෙන යෑමෙන් පසු ඔහු ඒ බව වාද්දුව පොලිසියට පැමිණිලි කර ඇත.  ඒ අනුව වාද්දුව පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත්වී පහරකෑමට ලක්වූ  ගුරුවරයා පහරදුන් සිසුවා ඇතුළු ඔවුන්ගේ මව්පියන් හා සිද්ධිය දුටු මව්පියන් කිහිප දෙනෙකු පොලිසියට කැඳවා පැමිණිල්ල පිළිබඳව පරික්‍ෂණයක් පවත්වා පහරදුන් සිසුවා අද (25) පැවැත්වෙන අ.පො.ස සා.පෙළ විභාගයට මුහුණ දීමට සිටීම නිසා දැඩි ලෙස අවවාද කර සමාව ගැනීමෙන් පසු මුදාහැරිණි.

මෙම සිසුවා නව පාසල් වාරය තුළ පාසලට පැමිණ ගුරුවරුන් මව්පියන් හා සිසුන් ඉදිරියේදී සමාව ගත යුතු බවටත් ඉදිරියේදී හොඳ කල්ක්‍රියාවෙන් සිටිය යුතු බවටත් කටඋත්තරයක් ලබාගැනීමෙන් පසු මුදාහළ බව පොලිසිය පවසයි.

-දයා හේමන්ත සිල්වා-