බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර, ලන්ඩන් පාලම මත සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම තමන් බාර ගන්නා බව අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.  ඒ බව සනාථ වුවහොත්, නායක අබු
බකර් අල් බැග්ඩෑඩි ඝාතනයෙන් පසු අයි.එස්. සංවිධානය සිදු කළ පළමු ප්‍රහාරය මෙය වනු ඇත. පාලම මත එල්ල වුයේ පිහි ප්‍රහාරයකි. පිහි ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් සම්භවයක් ඇති තරුණයෙකි. ඔහු 28 හැවිරිදි උස්මාන් ඛාන් නමැත්තාය.
උස්මාන්, පාලමේ ගමන් කරන්නා වූ පදිකයන් පසුපස හඹා යමින්, ඔවුන්ට පිහියෙන් අනින්න වූයේ පසුගිය 27 වැනිදා සවස ලන්ඩන් වේලාවෙන් 2 ට පමණය. පිහි ප්‍රහාරයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුහ. පොලිසිය වහා ක්‍රියාත්මක වී වෙඩි තබා උස්මාන් ඝාතනය කළේය. තමා බෝම්බ කබායකින් සැරසී සිටින බව උස්මාන් පවසා ඇති නමුත්, එය බොරුවක් බව පසුව අනාවරණය විය. පාලම මත ප්‍රහාරයට උස්මාන් සම්බන්ධ වි ඇත්තේ තනිවම බව පොලිස් පරීක්ෂණවලින් තහවුරු විය.

ත්‍රස්ත සැකකරුවකු ලෙස බ්‍රිතාන්‍ය පොලිසිය උස්මාන් 2012 දී අත්අඩංගුවට ගෙන ඇත.
චෝදනාවලට වරදකරු වී බන්ධනාගාරගත කළ උස්මාන් නිදහස ලබාදී ඇත්තේ 2018දීය. මොහු මධ්‍යම ලන්ඩනයේ සැටෆර්ඩ්ෂයර් හි පදිංචිකරුවෙකි. උස්මාන්, පාකිස්තාන ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයකු බවත් 2008 වසරේ මුම්බායි නුවරට එල්ල කළ ආකාරයේ ප්‍රහාරයකට මොහු සැලැසුම් සකස් කර තිබුණු බවට කරුණු අනාවරණය වී ඇති බව ලන්ඩන් පොලිසිය වැඩිදුරටත් කියා සිටී.

ලන්ඩ්න් පාලම මත සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් මහත්සේ කම්පනයට පත් වුණු බව පවසමින්, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ එවැනි ත්‍රස්ත ක්‍රියා යළි සිදුවීමට තම රජය කිසිසේත් ඉඩක් නොදෙන බවය.