තමා නිසා ජනාධිපතිවරණය පැරදුණු බව කියන්නේ නම් පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් හා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් පැරදුණේ
කවුරුන් නිසා දැයි ප්‍රශ්න කරන බව ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.තමා නිසා පක්ෂය පැරදුණු බව කියන්නේ නම් රට වටා ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රධාන කථිකයකු ලෙස තමා යොදා ගත්තේ කුමන අරමුණකින් දැයි ප්‍රශ්න කළ රාමනායක  මහතා, තමාට නාමයෝජනා නොලැබුණහොත් මහ මැතිවරණයට ස්වාධීනව තරග වදින බව ද ප්‍රකාශ කළේය. තමා නිසා පක්ෂය පැරදුණු බවට පක්ෂයේ ඇතැමුන් නගන
චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, පක්ෂය පැරදුණේ තමා නිසා නොව, මහ බැංකු මංකොල්ලය, හොරුන් නොඇලීම හා සහරාන්ගේ ප්‍රහාරය යනාදී සිද්ධින් නිසා යැයි ද පැවැසීය.

මෙලෙස අසාධාරණ ලෙස පලිගැනීමට තමා කළ වැරැද්ද කුමක් දැයි ප්‍රශ්න කරන රන්ජන් රාමනායක මහතා, තමා කිසිවිටෙකත් ගෞරවනීය මහා සංඝරත්නයට අපහාස නොකළ බව ද කියා සිටියේය. රජයේ නිල නිවාසයක්වත් නොගත් තමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නොවනවා සේම මහ බැංකු කොල්ලයේ ද සැකකරුවකු නොවන බවත්,නාමයෝජනා නොදිමට හොරු ඕනෑ තරම් සිටිය දී තමාට පමණක් නාමයෝජනාවට නොදෙන්නේ ඇයි දැයි ප්‍රහේළිකාවක් බවත් ඔහු කීය.  මෙය තමා බිල්ලට දී පව් සෝදා ගැනීමට ඇතැමුන් දරන උත්සාහයක් බව ද මන්ත්‍රීවරයා කීය. තමා ගම්පහ දිස්ත්‍රික්කයෙන් අංක එකට පත් වූ මන්ත්‍රීවරයා බවත්, කෙදිනක හෝ තමා ගෙදර යන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළහොත් පමණක් බවත් රාමනායක මහතා පැවැසීය.

-සුජිත් හේවාජුලියගේ-